Mawbima: ලංවිමෙන් කෝටි 19ක බදු ඉල්ලන මහජන උපයෝගිතා කොමිසම එම මුදල සැකැසුණු හැටි කියන්න අසමත් වෙලා

හර්ෂනී අර්සකුලරත්න

මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත 2018 වර්ෂය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ගෙවිය යුතු යැයි පවසන රුපියල් කෝටි 19කට අධික බදු ඉන්වොයිසිය සැකසුණු ආකාරය හෙළි කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවට තවමත් හැකි වී නැතැයි ලංවිම ඉන්ජිනේරු සංගමය පවසයි.

මේ සම්බන්ධව ලංවිම සාමාන්‍යාධිකාරි ඒ.කේ. සමරසිංහ මහතා ලිපියක් යොමු කරමින් මේ සා විශාල බදු මුදලක් සැකසුණු ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කොමිසමෙන් ඉල්ලා ඇති බව ඔවුන් පැවැසීය.
අද වන තුරුත් එයට ප්‍රතිචාර නොදක්වන කොමිසම කොළඹ දිසා අධිකරණයෙහි නඩුවක් ගොනු කොට එම මුදල් යළි ගෙවා දමන ලෙස ඉල්ලා ඇත්තේ ලංවිම සතු වත්කම් සහ දේපළ රාජසන්තක කර, විකුණා හෝ එම බදු මුදල් අය කර දෙන ලෙස යැයිද ඔවුහු පවසති.


ලංකා විදුලිබල මණ්ඩලය සතුව ඇති දේපළ වන්නේ ජනන යන්ත්‍ර සහිත විදුලි බලාගාර, විදුලි සම්ප්‍රේෂණ පද්ධති කාර්යාල ගොඩනැඟිලි සහ රථවාහන බව පවසන ඉන්ජිනේරු සංගමය මහජන උපයෝගිතා කොමිසම වක්‍රාකාරයෙන් ඉල්ලා සිටින්නේ බලාගාර වසා දමා හෝ බදු මුදල් ගෙවන ලෙස බවයි. මුළු රටම හෝ අඳුරේ ගිල්වා බදු මුදල් ඉල්ලා සිටින මහජන උපයෝගිතා කොමිෂන් සභාවට එය ආරම්භයේ පටන් විදුලිබල පනතට අනුව යමින් අදාළ බලපත්‍ර බදු මුදල වාර්ෂිකව ලංවිම ගෙවා ඇති බවද ඉන්ජිනේරු සංගමය සිහිපත් කළේය.

විදුලිය, ඉන්ධන හා ජලය යන සේවා හා සබැඳි කර්මාන්තයන් නියාමනයෙන් මහජනතාවට වඩාත් ඵලදායී සේවාවක් ලබාදීමට පිහිටුවූ එම කොමිසම අද වන විට විදුලිබල ක්‍ෂේත්‍රයට පිළිලයක් වී ඇති බවද ඔවුන් සඳහන් කරයි.

ලංවිම සකස් කළ ජනන සැලසුම් අනුමත නොකරමින් විදුලිබල පනතද උල්ලංඝනය කොට කටයුතු කළ ඔවුන්ගේ එම පමාව නිසා විදුලිය ලබා දීමේ සියලු වැඩපිළිවෙළ අවුල් වී ඇති අතර සාධාරණ මුදලකට මහජනතාවට විදුලිය ලබාදීමේ අභියෝගයකටද ලංවිම මුහුණ දෙමින් සිටින බවද එම සංගමය පවසයි.

කෙසේ වෙතත් රුපියල් කෝටි 16ක මහජන මුදලක් 2017 වසරේදීත් ලංවිමෙන් අය කර ගත් මොවුන්ට 2016 හා 2017 වර්ෂවලට අදාළ සිය වාර්ෂික වාර්තා මහජනතාවගේ දැනගැනීම පිණිස හෝ සිය නිල වෙබ් අඩවියේ පළ කිරීමටවත් ඔවුන් තවමත් අපොහොසත් වී ඇතැයි එම සංගමය චෝදනා කරයි.

http://mawbima.lk/print20180101MB20181230.php?id=20820

Leave a Reply

Your email address will not be published. Required fields are marked *