හර්ෂනී අර්සකුලරත්න
ඉදිරි වසර විස්ස සඳහා ලංවිම ඉදිරිපත් කළ ජනන සැලැසුම් පසෙකලා මහජන උපයෝගිතා කොමිසම ඉදිරිපත් කළ ජනන සැලැස්ම, දැඩි ආර්ථික පාඩුවකට සහ විදුලි අර්බුදයකට රටම ඇද දමන සැලැසුමක් බව ලංවිම ඉන්ජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු පවසයි.
ලංවිම සිය සැලැසුම් මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතියට ඉදිරිපත් කිරීමෙන් පසු එය අනුමත හෝ ප්‍රතික්ෂේප කරනවා වෙනුවට එම කොමිසම ඔවුන් සතු නීතිමය බලය අභිභවා යමින් ලංවිම සැලැසුම්වල ඇති සියලු ගල් අඟුරු බලාගාර ඉවතලා අනාගත සියලු තාප බලාගාරවලට එල්.එන්.ජී. (ස්වාභාවික ද්‍රව වායු) ඉන්ධන පමණක් යොදා ගැනීම දැඩි ගැටලුවක් බව ඔහු පැවැසුවේය.
මෙසේ එක් ඉන්ධනයක් මත පමණක් යැපීම රටේ බලශක්ති සුරක්ෂිතතාවට මරු පහරක් බවත් එල්.එන්. ජී. ලබාගන්නේ ගෝලීය දේශපාලනය අතින් අස්ථාවර මැද පෙරදිග කලාපයෙන් නිසාත් ඩීසල් හා පෙට්රල්ද එම කලාපයන්ගෙන්ම මිලදී ගැනීම නිසාත් කලාපයීය අස්ථාවර අවස්ථාවක රටේ මූලික ඉන්ධන ප්‍රභවයන් දෙකම එක විට අර්බුදයකට ලක්වීමේ අවදානමක් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.
2030 වන විට 100%ක්ම පුනර්ජනනීය විදුලිය කරා යෑමේ මේ සිහින උත්සාහය මඟින් අර්බුද සහිතව විදුලි පද්ධතිය බිඳවැටීම, විදුලි අර්බුද ඇති කිරීම සහ වැඩි වියදම් හදිසි විදුලි මිලට ගැනීම් සඳහා තල්ලුවීම පමණක් සිදුවන බවද හෙතෙම පැවැසීය.
රටක විදුලි ජනනය නිසි ජනන මිශ්‍රණයකින් යුක්ත වියයුතු බව දන්නා ලංවිම ඉන්ජිනේරුවන් එල්.එන්.ජී. (ද්‍රවීකෘත ස්වාභාවික වායු), ගල් අඟුරු මෙන්ම පුනර්ජනනීය බලශක්තීන්ද සමන්විත අඩු වියදම් ජනන සැලැස්මක් ඉදිරිපත් කළද එය අනුමත නොකොට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තමා සතු කාර්යාවලියට පරිබාහිරව, සැලැසුම් නිර්මාණය කරමින් රටට විශාල පාඩුවක් සිදු කරන බව ඔහු අවධාරණය කළේය. මෙවැනි ජනන සැලැස්මක් සම්පාදනය සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට, අවශ්‍ය ජනන සැලැසුම්, සම්ප්‍රේෂණ පද්ධති සැලැසුම්, පද්ධති පාලන ආදියෙහි විශේෂඥ දැනීමක්, හැකියාවක් හෝ නීතිමය බලයක් නැතැයිද ඔහු වැඩිදුරටත් පැවැසුවේය.
LINK: http://www.mawbima.lk/print20170621MB20171230.php?id=12544