අධි මිල හදිසි විදුලිය (Emergency Power) මක් නිසාද?
රටට සුදුසු දේ වෙනුවට පුද්ගලික වාසි ගෙනදෙන ව්‍යාපාර පසුපස යෑම
2014 වසරේදී නොරොච්චෝලේ අවසන් අදියර නිම වූ පසු මේ දක්වා රටේ වැඩිවන ව්දුලි බල ඉල්ලුම සඳහා විසඳුමක් වන කිසිඳු බලාගාරයක් ඉදි නොකිරීමත් ඉදිකිරීමට සූදානමින් තිබූ බලාගාර නවතා දැමීමත් නිසා මේ වනවිට විදුලිබල ක්ෂේත්ත්‍රය දැවැන්ත මූල්‍යමය අර්බුධයකට ඇදදමා ඇත. සැලසුම් සහගත කණ්ඩායම් විසින් ලං.වි.ම. සැලසුම් කරන ලද බලාගාර මෙලෙස නවතා දැමීමත් ප්‍රමාද කිරීමත් සිදුකරනු ලබන්නේ තමන්ට ආර්ථික වාසි ගෙනදෙන යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහාය. රටේ ප්‍රබල දේශපාලන බලවතුන්, අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්, ස්වාධීනයයි කියාගන්නා උපයෝගීතා කොමිසමේ ඇතැම් සාමාජිකයින් හා නිලධාරීන් මෙම කණ්ඩායම් නියෝජනය කිරීම රටේ අභාග්‍ය බව කිවයුතුය.
වාසිය උදෙසා නීතිය කැඩීම
විදුලි බල පනත හා රටේ බලපවත්වන අනෙකුත් නීතීන් අනුව රටට අවශ්‍ය බලාගාර සෑදිය යුත්තේ අනුමත “ දීර්ග කාලීන අඩුවියදම් විදුලි ජනන සැලැස්ම” අනුව වෙයි. මෙම සැලැස්ම ලං.වි.ම. සැලසුම් ඉංජිනේරුවන් සකසන අතර එය නීතිගත වීමට මහජන උපයෝගීතා කොමිසම අනුමත කලයුතුය. තවද අප රටට ගැලපෙන ලෙස හදන අපේ සැලසුමේ තිබෙන බලාගාර සැදීම හැර වෙනත් රටකින් හෝ ව්‍යාපාරිකයෙකු යෝජනා කරන බලාගාර ඉදිකිරීම නීති පොත්වල නැත.
මෙම හේතුව නිසා රටේ ඉහලම පුටුවල සිටින දේශපාලන ප්‍රබලයන්ගේ සහාය හා මගපෙන්වීමද ඇතිව 2015 සිට නීති විරෝධී ලෙස අපසලසුම් අවුල් කිරීමටත් එහි ඇති බලාගාර නවතා දැමීමටත් ප්‍රමාද කිරීමටත් මෙම කණ්ඩායම් උපයෝගීතා කොමිසම යොදාගන්නාලදී. රටට හානිකර වුවද තමන්ට වාසි ගෙනෙන ව්‍යාපාර සිදුකිරීම සඳහා ක්ෂ්ත්‍රය නියාමනය කිරීමට සිටින කොමිසමක බලතල දූෂිත නිලධාරීන් හරහා භාවිතා කිරීම ජනතාවගේ ආරක්ෂාවට ගෙනා යුද්ධ ටැංකිය සතුරන් අතට පත්වීමට සමානය.
නොරෝච්ච්ලේට පසුව ඉදිකිරීමට තිබුණු දැවැන්තම බලාගාරය නැවත්වීම
නොරොච්චෝලේ බලාගාරයට පසුව ලං.වි,ම. සැලසුම්වලට අනුව ඉදිවීමට නියමිතව තිබුණු දැවැන්තම බලාගාරය 500MW සාම්පූර් බලාගාරයි. එය 2020 දී පමණ සදා නිමකිරීමට සියලු කටයුතු සුදානම්ව පැවතුනි. තමන්ට වාසි ගෙනෙන නීතිවිරෝධී බලාගාර ඉදිකිරීමට බලාපොරොත්තු ඇතිව මෙම කණ්ඩායම සැලසුම් සහගතව සම්පුර් බලාගාරය නවත්වයි. මෙය දැනට ජනාධිපති තුමා විසින් විසුරුවා ඇති CCEM එක, ජනාධිපති උපදේශක වරු, අප අමාත්‍යංශයේ ඉහලම නිලධාරීන් හා මහජන උපයෝගීතා කොමිසම රටේ සංවර්ධනයට අකුල්හෙළන රාජ්‍යනොවන සංවිධාන හා මොවුන්ට හිතවත් ව්‍යාපාරිකයින් එක්ව සිදුකරණ ලදී.
2034 දක්වා ලං.වි.ම. සැකසූ 20 අවුරුදු ජනන සැලැස්ම 2015 අගෝ. 06 දින උපයෝගීතා කොමිසමේ අනුමැතියට යැවුවද සැලැස්මෙන් සාම්පූර් ඉවත් කිරීමට අවස්තාව එනතෙක් වසරකට වැඩි කාලයක් සැලැස්ම අනුමත නොකොට තබාගන්නා කොමිසම ඇතුළු කණ්ඩායම සාම්පූර් ඉවත්කිරීමෙන් පසු 2016 සැප්. 15 දින එම සැලසුමේ තිබුණු බලාගාර කිහිපයක් පමණක් අනුමත කර එවයි. එලෙස සැලැස්මේ කොටසක් පමණක් අනුමත කිරීම පනත අනුව නීති විරෝධී බැවින් සාම්පුර් නැවත්වීමට අමතරව බලාගාර ඉදිකිරීමට ලං.වි.ම. ට නීතිමය සැලැස්මක් නොමැති වීමද දැවැන්ත ගැටළුවක් විය.
සාම්පුර් වැනි අඩුවියදම් බලාගාරයක් සැදීම වසර 5කින් ප්‍රමාද වීම නිසා රටට වන පාඩුව රුපියල් කෝටි 20,000 ක් (බිලියන 200ක්) පමණ වෙයි. බලාගාරය නවත්තල දැනට අවුරුදු 4 ක් ගතවෙලා ඒ පාඩුව නැතිකරන්න පුළුවන් බලාගාරයක් හදන්න තවම සුදානමක් වත් නෑ.
තරඟකාරී මිල ගණන් කැඳවූ 300MW ස්වභාවික වායු (LNG) බලාගාරය ප්‍රමාද ඇයි ?
අපේ සැලසු අනුව මේ බලාගාරය පද්දතියට එකතුවෙන්න තිබුනේ 2019 වර්ෂයේ. මේ සඳහා සමාගම් 7ක් මිලගනන් ඉදිරිපත් කලත් එක් කොරියන් සමාගමක ටෙන්ඩරය පමණක් විවෘත කිරීමට බලධාරීන් උත්සහ කිරීමේදී ඉංජිනේරු සංගමයද ඒ සඳහා විරුද්ධ වී සියලු ටෙන්ඩර් පත් විවෘත කර තරංගකාරී මිලක් ලබාගැනීමට හැකිවිය. නමුත් විවිධ දේශපාලන බලවතුන්ගේ මැදිහත් වීම්, ටෙන්ඩර් මණ්ඩල වලට කරන ලද බලපෑම් හා අමාත්‍යංශයේ ඇතැම් ඉහල නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාවන් නිසා මෙම ටෙන්ඩරයේ තීරණය මේවනවිට උසාවියට භාරවී ඇත. මෙම ටෙන්ඩරය නිසා ටෙන්ඩර් මණ්ඩල වල නිලධාරීන් කිහිපවතාවක්ම වෙනස් වීම මේ සඳහා දේශපාලන බලවතුන්ගේ මැදිහත්වීම කෙතරම්ද යන්නට කදිම නිදසුනකි. මේ සඳහා මැදිහත්වී සුදුසු සමාගමක් මගින් රටට අවශ්‍ය මෙම දැවැන්ත බලාගාරය ඉදිකරවාගැනීම වෙනුවට තමන්ට වාසිගෙන එන කණ්ඩායම්වලට ටෙන්ඩරය ලබාදීමට බලධාරීන්ගේ හා දේශපාලන බලවතුන්ගේ කඹ ඇදීම මෙම තත්වයට හේතුවයි.
මේ අතර ජපානය, ඉන්දියාව හා චීනයේ සමාගම් තුනක් මගින් 500MW බලාගාර 02ක් හා 400MW ක LNG බලාගාරයක් සැදීමට රජය උත්සහ කරයි. නමුත් අප පද්ධතිය ඉතා කුඩා එකක් වන බැවින් 500MW විශාල ජනක යන්ත්‍ර පද්ධතියට එකතුකළ නොහැකි අතර පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන එකතුකළ හැකි තනි ජනක යන්ත්‍රයක උපරිම ධාරිතාවය 300MW කි.
මෙම බලාගාර ඉදිරි සැලසුම් වලට ඇතුලත් කිරීමට රජය යෝජනා කලද එමරටවල් වලින් ක්‍රමවත් යෝජනාවක් වත් විදුලිය ලබාදෙන මිල පිළිබඳව කිසිඳු එකඟතාවයක් මේ වනතෙක් ලබාදී නොමැත. තරඟකාරීව මිල කඳවු බලාගාර අනවශ්‍ය ලෙස වසර ගණන් පමා කිරීමට තවත් එක් හේතුවක් ලෙස මේවාට වැඩි මිලක් ලබාදීමට මින් වාසි ලබන කණ්ඩායම් අපේක්ෂා කරන බැවින් බවද සිතිය හැක.
දිනෙන් දින පමාවන මද්‍යකාලීන විසඳුම්
විදුලි අර්බුදයට විසඳුම් ලෙස හදිසි විදුලි මිලදී ගැනීම් (Emergency Power) නැවත්වීමට ලං.වි.ම. සැලසුම් කල 100 MW හා 24×4 MW දැවී තෙල් බලාගාර වල ටෙන්ඩර් පොත් අනුමත කිරීම අමාත්‍යංශය දිනෙන් දින පමා කරයි. අනුමැතිය සඳහා යොමුකර මාස කිහිපයක් ගතවුවද ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යතාව අනුව එහි ඇති තාක්ෂණික කරුණු වෙනස්කම් කිරීමට යෝජනා කරමින් සිටියි. සැලසු කර ඇති අඩු වියදම් ගලන්ගුරු හා LNG බලාගාර ප්‍රමාදවීම නිසා සැලසු වලට ඇතුලත් කල ඩීසල් වලට වඩා මිලෙන් ඉතා අඩු දැවිතෙල් (HFO) බලාගාර මෙලෙස පමාවීමෙන් සිදුවන්නේ තව තවත් හදිසි විදුලි බලාගාර (Emergency Power) ගැනීමට සිදුවීමයි.
වියදම් අඩු බලාගාර ප්‍රමාද වෙද්දී Emergency Power විදිලි වේගයෙන්
සියලු අඩුවියදම් බලාගාර විවිධ පාර්ශව වල වාසියට නවතා දමමින් හා ප්‍රමාද කරමින් සිටින බලධාරීන් 2019 වසර පළමු කාර්තුව තුල අපේක්ෂාකරන නියඟ කාලගුණයට හා වැඩිවන ඉල්ලුමට විසඳුම් ලෙස වියදම් අධික හදිසි ඩීසල් විදුලිය මිලදී ගැනීම් (Emergency Diesel Power) සඳහා විදිලි වේගයෙන් කටයුතු කරගෙන යයි. 100 MW ක Emergency Power හඳහා කැබිනට් අනුමැතිය දින කීපයකින් ලබාගන්නා බලධාරීන්ට හා රජයට මෙම උනන්දුව ලං. වී.ම. සලසුම්කල අඩුවියදම් බලාගාර සැදීම සඳහා තිබුණි නම් මේවනවිට වසරකට ලං.වි.ම. ලබන රුපියල් බිලියන 50 කට අධික පාඩුවෙන් මිදී ජනතාවට මහත් සේ ප්‍රතිලාභ ලබාදීමට රජයට හැකිවනු ඇත.
මේවනවිට ලං.වි.ම. ට ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 400 කට (කෝටි 40,000) අධිකය. අර්බුධයට විසඳුමක් වන අඩුවියදම් බලාගාර සාදන තෙක් අඩුම වශයෙන් ඉදිරි වසර 5ක කාලය තුල ලං.වි.ම. තවතවත් දැවැන්ත ලෙස පාඩු ලබනු ඇත. තවද වැඩිවන ඉල්ලුම සඳහා කෙටිකාලීන විසඳුම් සඳහා යෑම නිසා මෙම පාඩුව තවත් දෙතුන් ගුණයකින් වැඩිවනු ඇත.
– ලං.වි.ම. ඉංජිනේරු සංගමය
ලංවිම ණය කෝටි 40,000 පනී.. පාඩුව තවත් දෙතුන් ගුණයකින් වැඩිවෙන්න ලගයි..