විදේශ සංචිත අර්බුදයට පිළියම් සොයමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල දෙසට හැරුණු ශ්‍රී ලංකාව තම ආර්ථික කාරණා පෙළගැස්වීමේදී මූල්‍ය අරමුදලේ අදහස් හා යෝජනාවලට කොන්දේසි විරහිතව එකඟ වීමේ තත්ත්වයක් වර්තමානය වනවිට උදාවී තිබේ. විශේෂයෙන්ම අයවැය සකස් කිරීමේදී පවා මූල්‍ය අරමුදලේ අභිලාෂයන් පරිදි කටයුතු කිරීමට ආණ්ඩුවට සිදුවී ඇති බවට සැකයක් නැත.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් මෙරට පාඩු ලබන රාජ්‍ය ආයතන පිළිබඳව අවධානය යොමුකිරීමේදී විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලය හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පිළිබඳ වැඩි සැලකිල්ලක් යොමුකර ඇති බව පෙනේ. ඒ අනුව විදුලි ගාස්තු හා තෙල් මිල සඳහා ඉදිරි වසරේදී නව මිල සූත්‍ර හඳුන්වාදිය යුතු බවට මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට නව කොන්දේසියක් පනවනු ලැබ තිබේ.
අමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල මේ වනවිට ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක විශේෂ ණය ආධාර වැඩසටහනක් ලබාදෙමින් සිටින අතර එහි සිව්වැනි හෙවත් අවසාන වාරිකය මුදාහැරීමට පෙර විදුලිය හා තෙල් යන ගාස්තු විෂයයන්හි විධිමත් සංශෝධනයක් කළ යුතු බවට කරුණු දක්වා ඇත. මෙම මාසයේදී එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේදී ශ්‍රී ලංකාවට සපයන ණය ආධාර වැඩසටහන පිළිබඳ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේ හා සමාලෝචනයේ දී මෙම නව මිල සූත්‍ර පිළිබඳ වැඩි අවධානයක් යොමුවනු ඇති බව දැනගන්නට තිබේ.
♦ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මතය
අංක 17/253 නමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ විශේෂ වාර්තාවක් එළිදක්වමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල සඳහන් කර ඇත්තේ, 2016 තුළදී විදුලිය හා ඉන්ධන සඳහා ස්වයංක්‍රීය මිල ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බවය.
එම වාර්තාවේ වැඩිදුරටත් මෙසේ කරුණු දැක්වේ.
දැනට තිබෙන ක්‍රමයේ වරද කුමක්ද?
“ලෝක වෙළෙඳ පොළේ ඛනිජ තෙල් මිල අඩුවීම නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ලංකා විදුලි බල මණ්ඩලයත් සැලකිය යුතු ප්‍රගතියක් ඉකුත් වසරේ වාර්තා කළ නමුත් වාණිජ නොවන බැඳීම් පදනම් කොටගෙන ඉන්ධන හා තෙල් සහනදායී මිලට ලබාදීම හේතුවෙන් එම ආයතන දෙකම විශාල වශයෙන් පාඩු ලබමින් සිටී. මෙම ගැටලුවට මුහුණදීම සඳහා බලධාරීන් නව ප්‍රවේශයක් කරා එළඹීමට නියමිතය. පළමුව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහයෝගීතාව යටතේ වාණිජ නොවන බැඳීම් හරහා ඇතිවන මූල්‍ය පිරිවැය ගැන වාර්තාවක් පිළියෙල කෙරෙනු ඇත. එය මෙම වැඩසටහනේ අවසාන ඉලක්කය හා සම්බන්ධ වේ. දෙවනුව ලංකා විදුලි බල මණ්ඩලයත් මහජන උපයෝගීතා කොමිසමත් එක්ව විදුලි තොග සැපයුම් ගනුදෙනු ගිණුමක් ආරම්භ කළ යුතුය. ඉන් අනතුරුව තෙවැනි පියවර වශයෙන් තොරතුරු රැස්කොට විවිධ පාර්ශ්වයන්ගේ අදහස් විමසා 2018 මාර්තු සහ සැප්තැම්බර් මාසවලදී විදුලිය හා ඉන්ධන සඳහා නව මිල සූත්‍රයක් හඳුන්වාදෙනු ඇත. ඒ අතරතුර ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේදී විදුලි බල මණ්ඩලයේත් මූල්‍ය ප්‍රගතිය කාර්තු පදනමින් නිරීක්ෂණය කෙරේ.”
හිතේ ගින්දර පත්තුකරන ලයිට් බිලේ අලුත් සූත්තරේ
♦ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම
කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කරන්නේ දැනට පවතින විදුලි ගාස්තු අයක්‍රමයේ කිසිදු දෝෂයක් නැති බවත් 2011දී හඳුන්වා දුන් මාස හයකට වරක් මිල ගාස්තු යාවත්කාලීන කිරීමේ ක්‍රමවේදය භාවිත කළ හැකි නම් වඩාත් සාධාරණ හා විනිවිද භාවයකින් යුත් ගාස්තු ක්‍රමවේදයක් කරා ගමන් කළ හැකි බවත්ය.
මාස හයේ ක්‍රමවේදය ද 2011 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති මුත් මේ වනතෙක් එය ක්‍රියාත්මක වී නැත. එම ක්‍රමවේදය මෙසේය.
සාමාන්‍යයෙන් විදුලිය සඳහා වාර්ෂිකව මිල නියම කිරීම සිදුවන්නේ ඉදිරි වසර සඳහා ඇස්තමේන්තුගත විදුලි ජනන පිරිවැය සලකා බලමිනි. එනම් ලබන වසරේදී ඩීසල් මිලේ වර්ධනය පිළිබඳ පුරෝකථනයක් සිදුකර ඩීසල් හරහා විදුලිය නිපදවීම වැයවෙන වියදම ගණනය කරනු ලැබේ. ජල විදුලි උත්පාදන වියදම ද එසේ පුරෝකථනය මත පදනම් වේ. මාස 12ක කාලයක් සඳහා කෙරෙන එම පුරෝකථන නිසා ඇතැම්විට සැබෑ පිරිවැය ඊට අඩු වුවද පාරිභෝගිකයාට ලැබෙන සහනයක් නැත. එමෙන්ම යම් හෙයකින් විදුලි පිරිවැය අපේක්ෂිත මට්ටම අභිබවා ගමන් කළ විටෙක එම පාඩුව පාරිභෝගිකයාට දරන්නට සිදුවන්නේ ද නැත.
මහජන උපයෝගීතා කොමිසම යෝජනා කරන්නේ මෙසේ මිල ගණන් වෙනස් කිරීම මාස හයෙන් හයට සිදුවිය යුතු බවය. ඒ හරහා වසරේ පළමු අර්ධයේදී ඇතිවන සැබෑ තත්ත්වයන් සලකා දෙවැනි අර්ධයේදී පාරිභෝගික ජනතාවට සහන දීමට හෝ විදුලි බල මණ්ඩලයට සිදුවිය හැකි පාඩු අවම කරගැනීමට අවස්ථාව උදාවේ.