ලං.වි.ම. ඉන්ජිනේරු සංගමය හෙට (20දා) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය මැයි මස 08 වැනිදා දක්වා කල් දැමීමට තීරණය කළ බව එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු පවසයි.
වෙසක් උත්සවය සැමරීමේදී විදුලි ආලෝකය අත්‍යවශ්‍ය අංගයක් වීම හේතුවෙන් ප්‍රාදේශීය ඉන්ජිනේරුවරුන් වෙත ප්‍රදේශයන්හි පූජ්‍ය පක්ෂයෙන් ලද ඉල්ලීම් රැසක් නිසා විධායක කමිටුව රැස්වී මේ තීරණයට එළැඹි බවද ඔහු පැවැසුවේය.
සිය සංගමය මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹෙනුයේ ජනතාව අපහසුතාවට පත්කිරීමේ පරමාර්ථයෙන් නොවන බවත් මේ හේතුවෙන් මහජනතාවට සිදුවිය හැකි අපහසුතාවන් පිළිබඳ කනගාටුවට පත්වන බවත් හෙතෙම පැවැසීය.
මේ වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා එළැඹෙනුයේ සිය වෘත්තීය අයිතීන් දිනාගැනීමට නොව රටට සිදුවන දැවැන්ත ආර්ථික හානිය පිළිබඳ බලධාරීන්ගේ දෑස් යොමු කරවීමට බවද ඔහු පැවැසුවේය.
විදුලිය අඛණ්ඩව පැය 24 පුරාම පවත්වාගෙන යෑම සඳහා සිය සාමාජිකයන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය බවත් අකුරට වැඩ ක්‍රියාමාර්ගය ආරම්භ වූ පසු සාමාන්‍ය වැඩ කරන වේලාවන් වන සතියේ දිනවල පෙ.ව 8.30 සිට ප.ව 4.15 දක්වා කාලයෙන් පරිබාහිරව සිය සාමාජිකයන් කිසිදු රාජකාරියක නිරත නොවන බවත් පැවැසූ සංගමයේ සභාපතිවරයා
මේ හේතුවෙන් විදුලි සැපයුම අඩාල විය හැකි බවත් විදුලි බිඳ වැටීම් යථාවත් කිරීම් ප්‍රමාදවීම් ඇතුළු විවිධ අපහසුතාවලට විදුලි පාරිභෝගිකයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවත් පැවැසුවේය.
කෙසේ වෙතත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ මුල් අදියරයේදී පද්ධතිය සම්පූර්ණයෙන් බි¼දවැටීම වැළැක්වීමට බලාගාර සහ මෙහෙයුම් මධ්‍යස්ථාන ආදියේ රාත්‍රි වාර සේවා රාජකාරියේ නිරත වීමට සාමාජිකයන් කටයුතු කරනු ඇති බවද ඔහු පැවැසුවේය.
රෝහල් සහ ජාතික ආරක්ෂාවට වැදගත් වන ස්ථානවලට අවම බලපෑමක් වන අයුරින් කටයුතු කළද සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබුණහොත් පියවරෙන් පියවර වෘත්තීය ක්‍රියාමාර්ග තීව්ර කරමින් විසඳුම් ලබාගන්නා තුරු අරගල කරන බවද හෙතෙම පැවැසීය.
මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලං.වි.ම. සැකසූ 2018-2037 දක්වා වූ විසි අවුරුදු ජනන සැලැස්ම ඉවත දමා පෞද්ගලික බලාගාර හිමියන්ට අවශ්‍ය අන්දමට මිල අධික ජනන සැලැස්මක් නීති විරෝධීව සකස් කිරීමට එරෙහිව ඔවුන් මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹීමට නියමිතය.