විදුලි වර්ජනයකුත් අත ළඟ – Mawbima

http://mawbima.lk/print20170621MB20171230.php?id=11748

හර්ෂනී අර්සකුලරත්න

දිනෙන් දින ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය වන ලාභදායී පියවර නොගැනීමට විරෝධය පළකරමින් ලබන සතිය ඇතුළත ලංවිම ඉන්ජිනේරු සංගමය සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු පවසයි.

පවතින තත්ත්වය හමුවේ ලංවිම දැඩි අර්බුදයකට මුහුණදීමට නියමිත බවද මේ පිළිබඳව සිය සංගමය ජනාධිපතිවරයා, අගමැතිවරයා, විදුලිබල ඇමැතිවරුන් හා අදාළ සියලු පාර්ශ්ව දැනුවත් කර ඇතැයිද ඔහු පැවැසුවේය.

ජල විදුලිය හිඟ වීම හේතුවෙන් ලංවිම ගිය වසරේදී පමණක් ලැබූ පාඩුව රුපියල් කෝටි 4,000ක් බවත් ඩීසල් වැනි බලාගාර සඳහා වැය වන අධික මිල මීට හේතු වී ඇති බවත් හෙතෙම පැවැසීය.

ගල් අඟුරු හෝ ජල විදුලි බලාගාර ඉදිකිරීමට වැඩි කාලයක් ගතවීම හේතුවක් කරගනිමින් ඒ සඳහා අවධානය යොමු නොකොට මිල අධික ඩීසල් බලාගාර හරහා විදුලිය සපයා ගැනීම මෙම ශෝචනීය තත්ත්වය උදාවීමට මඟ පාදා ඇති බවද ඔහු පැවැසුවේය.

තම සංගමය මේ ගැටලුව සඳහා ඉදිරිපත් කරන විසඳුම් පසෙකලා ක්‍රියාත්මක කිරීමට විරෝධය පෑමක් ලෙසම සමස්ත විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන්ම මේ අර්බුදය ගැන අදාළ පාර්ශ්වයන්හි අවධානයක් යොමු කරවීම පිණිස මේ සංකේත වැඩ වර්ජනය ඇරැඹීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා පැවැසුවේය.

මේ වර්ජනය හරහා විදුලි විසන්ධි වීම් සිදුවිය හැකි වුවද එය පාරිභෝගිකයන් අපහසුතාවට පත් කිරීමේ අරමුණින් සිදුකරන්නක් නොවන බවද හෙතෙම අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *