දිවයින පුරා ප්‍රදේශ ගණනාවක පවතින වියළි කාලගුණය මේ වනවිට බරපතළ ගැටලුවක් බවට පත් වී තිබේ. බොහෝ ප්‍රදේශවල බීමට ජලය හිඟවී තිබියදී වගාවන් රැසක් විනාශ වී ගොස්ය. නියඟයේ දැඩි බලපෑම නිසා විදුලිය උත්පාදනය සඳහා යොදාගන්නා ජලාශවල ජල මට්ටම සීඝ්‍ර ලෙස පහළ බැස තිබේ. මෙම වියළි කාලගුණය තවදුරටත් පැවතියහොත් විදුලි උත්පාදනය බරපතළ ගැටලුවක් බවට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත.
පවතින කාලගුණ තත්ත්වය මේ ආකාරයෙන්ම පැවතියහොත් ජල විදුලිය උත්පාදනය අභියෝගයක් වනු ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි. මේ පිළිබඳව විදුලි ඉංජිනේරු සංගමය පවසන්නේ නිසි සැලසුමක් නොමැතිවීම හේතුවෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවීමේ ඉඩකඩ පවතින බවය.
පවතින වියළි කාලගුණය නිසා කඳුකරය ඇතුළු ජල පෝෂක ප්‍රදේශවලට වැස්සක් නොවැටෙන තරම්ය. මේ හේතුවෙන් ජල විදුලිය උත්පාදනය කෙරෙන ප්‍රධාන ජලාශ අතුරින් මාඋස්සාකැලේ, කාසල්රී, කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල සහ සමනලවැව ආශ්‍රිතව පවතින්නේ අඩු ජල මට්ටමකි. මේ වනවිටත් ජලවිදුලි බලාගාර හරහා විදුලිය ලබාදෙන්නේ 15%ක තරම් ප්‍රමාණයක් වීම හේතුවෙන් යම් හෙයකින් නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය අක්‍රීයවීමක් වුවහොත් උද්ගත වන තත්ත්වය ඉතා අවදානම් වනු ඇත. මෙවැනි අවදානම් තත්ත්වයක් ඇතිවීම කෙරෙහි බලපාන ප්‍රධාන කාරණය වන්නේ බලධාරීන් විසින් විදුලිය උත්පාදනය සඳහා වන දීර්ඝකාලීන විසඳුම් ලබා නොදීමය. මේ අතර විදුලි ඉංජිනේරු සංගමයේ සෞම්‍ය කුමාරවඩු මහතා ප්‍රකාශ කරන්නේ නොරොච්චෝල තාප බලාගාරයේ යන්ත්‍ර තුන ඉතා අවදානම් තත්ත්වයෙන් ක්‍රියාත්මක වන බවකි. ඒවායේ නඩත්තු කටයුත්තක් සඳහා හෝ එක් යන්ත්‍රයක් නතර කරවීමට සිදුවුවහොත් අනිවාර්යයෙන් විදුලි කප්පාදුවක් සිදුකිරීමට වන බව සඳහන් වේ.
දැනට පවතින වියළි කාලගුණ තත්ත්වය මත නාගරික ප්‍රදේශවල මෙන්ම ගම්බද ප්‍රදේශවලත් විදුලිය පරිභෝජනය ඉහළ ගොස් තිබේ. විශේෂයෙන් රාත්‍රී කාලයේදී විදුලිය භාවිතය ඉහළ මට්ටමක පවතින බවත් වැඩි ප්‍රමාණය විදුලි පංකා වායුසමීකරණ යන්ත්‍රවලට භාවිතා කෙරෙන ප්‍රවණතාවයක් ඇති බවට හඳුනාගෙන තිබේ. මෙයට හේතු ලෙස උණුසුම් කාලගුණය, වර්ෂාව අඩුවීම හඳුනාගත හැකිය. ඉදිරියේදී යම් විදුලි කප්පාදුවක් හේතුවෙන් විදුලි අර්බුදයක් ඇතිවීමට තිබෙන අවස්ථාව වැඩිය. මේ නිසා මහජනතාව අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කිරීමද අවශ්‍යය.
පවතින නියඟය තවදුරටත් පැවතියහොත් වියළි පරිසරය අන්ධකාරය විසින්ද ගිලගන්නට ඉඩ ඇත. ඒ ඉදිරි කාලයේ ප්‍රමාණවත් වැසි නොලැබුණහොත්ය. හදිසියේ විදුලිය කප්පාදුවක් සිදුකිරීමට වුවහොත් එය රටට අහිතකර වනු ඇත. වැසි නොමැති කලට විදුලිය කප්පාදු කර ගැටලු විසඳීම තවත් ප්‍රශ්නයක ආරම්භයකි. එවැනි තත්ත්වයක් ඇති වනතුරැ බලා සිටී නම් රටකට විදුලිබල මණ්ඩලයක් අවශ්‍ය නැත.
රටේ විදුලිය නිෂ්පාදනය ආර්ථිකයට බරකි. හේතුව ඒ සඳහා යෙදැවෙන අධික පිරිවැය හේතුවෙනි. එහෙත් එය කළයුතුව තිබේ. විදුලි ඉංජිනේරුවරුන් සතුව සැලසුම් ඇත. මේ පිළිබඳ නියාමනයේ යෙදෙන මහජන උපයෝගිතා කොමිසම එහි අඩු වැඩි සොයනු ඇත. විෂය බාර ඇමැතිවරු බලය වෙනුවෙන් දේශපාලනයේ යෙදෙති. මේ පාර්ශ්ව එකිනෙකට නොගැලපෙන කටයුතුවල නිරතව සිටීම අර්බුදයකි. කෙසේ හෝ මේ පිරිස එකට එක් වී ජාතික සැලසුමක් සැකසිය යුතුය. එදාට නියඟය විදුලියට අභියෝගයක් නොවනු ඇත.
මාධ්‍ය ප්‍රකාශක – සුලක්ෂණ ජයවර්ධන
විදුලිබල මණ්ඩලය
දැනට දෛනික විදුලිය අවශ්‍යතාවය මෙගාවොට් පැය 44-45 පමණ වෙනවා. මේක ඉතාම ඉහළ අගයක්. මේ ප්‍රමාණයෙන් 15% හෝ 20%ක් තමයි ජල විදුලිය මගින් ලබාගන්නේ. ඉතිරියෙන් 80%, 85% පමණ තාප විදුලි බාලාගාරවලින් ලබාගන්නා විදුලිය. 2%ක් පමණ සුළං සහ සූර්ය තාප විදුලි බාලාගාර මගින් නිපදවනවා. කවුරුත් හිතන විදිහට සම්පූර්ණ වශයෙන් තිබෙන අවශ්‍යතාවයට ජල විදුලිය නිෂ්පාදනය කරන්න බෑ. මේ තත්ත්වය තුළ ජල විදුලිය උත්පාදනයට අභියෝගයක් තියෙනවා. මේ දිනවල පවතින වියළි කාලගුණය, උෂ්ණත්වය සහ වර්ෂාව අඩුවීම නිසා විශාල විදුලි පරිභෝජනයක් සිදුවෙනවා. නමුත් අපි ජනතාවට කියනවා විදුලිය පරිභෝජනය අරපිරිමැස්මෙන් කරන්න කියලා. දැනට පවතින තත්ත්වය අනුව විදුලිය කප්පාදු කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ. 2016 වර්ෂයේ අප්‍රේල්වලදී වර්ෂාව අඩුවුණා. ඒ වෙද්දී ජලාශවල 35%ක ජල මට්ටමක් පැවතුණේ. ඒත් අපි පැය 24 පුරාම විදුලිය සැපයුවා. අද තත්ත්වය බැලුවාම 49.8% පමණ ජලය පිරිලා තියෙනවා. එහෙනම් තේරෙනවා ජලාශවල 35% ජලය තියෙද්දි විදුලිය නොකඩවා දුන්නා නම් දැන් බාධාවක් නෑ කියලා. මෙතැනදි වැඩිපුර තාප බලාගාර ක්‍රියාත්මක වෙනවා. වෙනදාට වඩා වියදම වැඩියි. මේ නිසා තවත් මෙගාවොට් 60ක ධාරිතාවයක් කෙටිකාලීනව මාස 6කට පද්ධතියට එකතු කරගන්න ක්‍රියා කරනවා. ඒ පෞද්ගලික අංශයේ දායකත්වයෙන්. ඔහු පැවසුවේය.
සමන්ත ප්‍රදීප් විල්තෙර
http://www.deshaya.lk/article/43/features/6418/%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA-%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%A7-%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1-%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9F%E0%B6%BA