අප රටෙහි බලශක්ති ක්ෂේත්‍රයේ අනාගතය ස්ථාවර, විශ්වාසනීය සහ අඩු වියදම් එමෙන්ම කාබන් විමෝචනය අවම තත්වයකට රැගෙන ඒම ලංකා විදුලිබල මණ්ඩලයේ අරමුණයි. නමුත් බලශක්තිය යනු රටක ජීවනාලියයි. එබැවින් උක්ත අරමුණ සාක්ශාත් කරගැනීමට යන ගමනේදී ඉතාම සංයමයකින් සහ සැලසුම්සහගතව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බව අපගේ අදහසයි. මක් නිසාද යත් මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමට වසර ගණනාවක සිට දශක කීපයක් දක්වා පවා කාලය ගතවිය හැකි බැවින් සහ එක් අදූරදර්ශී තීරණයකින් එසේ දීර්ඝ කාලයක් විෂය ප්‍රවීන වෘත්තිකයින් හරහා සිදුවූ ක්‍රියාවලියක් අකර්මන්‍ය වී රටට අසීමිත පාඩුවක් ලැබිය හැකි බැවිනි. ලංවිම දිගුකාලීන ජනන සැලැස්ම තුල නිරන්තරයෙන් විචනලය වන සුනිත්‍ය බලශක්තියට (Variable Renewable Energy) ඉඩහසර සකසන ගමන් රටෙහි මූලික බලශක්ති සැපයුම දරාගත හැකි ස්ථාවර ජනන මූලාශ්‍ර (Firm Energy) වලටද අවධානය යොමුව ඇත්තේ එබැවිනි.
නමුත් අවාසනාවන්ත ලෙස මෑතකදී ඉහත පැවසූ ලෙසටම අදූරදර්ශී ක්‍රියාවක් මෑතකදී සිදු වූ අතර එය සෘජුවම බලපා තිබුණේ ඉදිරි වසර කිහිපය තුල මෙරටට අවශ්‍ය LNG ඉන්ධනය ගබඩා කිරීමේ හා බෙදා හැරීමේ යටිතල පහසුකම් ස්ථාපනය කිරීමට කැඳවූ ටෙන්ඩරයටයි. අප රටේ ඉදිරි දශකය සඳහා අවශ්‍ය LNG ඉන්ධන ධාරිතාව සැලකූ විට එය ගබඩා කිරීමට සහ බෙදාහැරීමට FSRU(Floating Storage Re-gasification Unit) එකක් තිබීම ප්‍රමාණවත් ය. වසර එකහමාරකට අධික කාලයක් ආසියානු සංවර්ධන බැංකුව සමග සිදුකල ශක්‍යතා අධ්‍යනයෙන් පසුව මෙම ඒකකය ස්ථාපනය කිරීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී මිලකැඳවීම් යටතේ ටෙන්ඩර් කැඳවූ අතර සමාගම් විස්සකට අධික ප්‍රමාණයක් මේ සඳහා සිය උනන්දුව දක්වමින් ටෙන්ඩර් පොත් ලබාගැනීමට කටයුතු කරන ලදී. නමුත් කොරෝනා වසංගත තත්වය රට තුල උත්සන්න වීමත් සමග එම ටෙන්ඩරය විවෘත කිරීම ප්‍රමාද කිරීමට ඉල්ලීකම්ක් කල අතර මෙහිදී සාමාන්‍යයෙන් එම කාල දිගුව සති 4- 6ක පමණ කාලයක් සාමාන්‍යයෙන් ලබාදෙන මුත් අමාත්‍ය මණ්ඩලය මගින් පත්කරන ලද ටෙන්ඩර් කමිටුව(CANC) මගින් එය සතියක් දක්වා අඩු කිරීම කණගාටුවට කාරණයක් විය. තත්වය එසේ වද්දී ටෙන්ඩර් විවෘත කරන දිනට ආසන්න දිනක් වනවිට අනාවරණය වූයේ මෙම ටෙන්ඩරයට ඉදිරිපත් වීමට පැමිණි New Fortress Energy නැමති ඇමෙරිකානු සමාගමක් සමග අදාල FSRU ඒකකය තැනීමට කිසිදු විනිවිදභාවයකින් තොර ගිවිසුමක් අත්සන් කර ඇති බවයි. මෙහි අතුරු ප්‍රථිඵලය වූයේ ටෙන්ඩරය සම්බන්ධයෙන් ඉදිරිපත් වීමට සිටි සමාගම් වල විශ්වාසය බිඳ වැටී ඔවුන් අධෛර්‍යමත් වීමයි. මෙම ගැටලු සියල්ලටම මුහුණ දෙමින් අදාල ටෙන්ඩරය නිසි පරිදි විවෘත කර තාක්ෂණික කමුට්වක් මගින් ඇගයීම සිදුවෙමින් පවතී. මෙම කාර්යය සහ ටෙන්ඩරයේ ඉදිරි කටයුතු කිසිදු දේශපාලනික අත පෙවීමකින් තොරව නිවැරදිව සිදු වන්නේද යන්න පිලිබඳව අප ඉංජිනේරු සංගමය දැඩි අවධානයෙන් පසුවන අතර මෙම කූටාප්‍රාප්ත ජවනිකාව ඔස්සේ අප රටට ඉදිරියට LNG ඉන්ධනය රැගෙන ඒමේ සහ බෙදා හැරීමේ බලාධිකාරිය රටට නොගැලපෙන ප්‍රතිපත්තීන් හරහා අනිසි පාර්ශවයන්ගේ ග්‍රහණයට පත්වීමට ඉඩ හැර රටට ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදු කිරීමට එරෙහිව ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවටත් අවධාරණය කරන්නෙමු.
තවද රටෙහි ජනතාවට අඩු මිලකට විදුලිය ලබා දීමට ලංකා විදුලිබල මණ්ඩලය සැම විටම ඇපකැප වී ඇති අතර 2015 වසරේදී නොරච්චෝලේ බලාගාරය විවෘත කිරීමත් සමග සිදු කල 25%ක විදුලි අඩුකිරීමෙන් පසුව මේ දක්වා විදුලි බිල වෙනස් නොවී පවත්වා ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ගැනිනි. නමුත් 2015 සිට මේ දක්වා යෝජිත සියලුම අඩු වියදම් බලාගාර අදූරදර්ශී දේශපාලනික තීන්දු තීරණ මත රටට අහිමි වූ අතර එමහින් එමගින් වසර 5කට වන පාඩුව රුපිය බිලියන 200 ඉක්මවනු ඇත. එසේ ඉතිහාසය පාඩම් කියා තිබියදීත් නැවතත් මෙරටෙහි ඉදිවීමට යෝජිත අඩු වියදම් බලාගාර නැවැත්වීම, තරඟකාරී මිලගණන් කැඳවීමේදී රු 15කට ලැබෙන වන සූර්යබල විදුලි ඒකකයකට රු. 20කට වැඩියෙන් ගෙවීමට වෙන Feed in Tariff ප්‍රසම්පාදන ක්‍රියාවලීන් නීතිගත කිරීම වැනි කටයුතු හරහා බලධාරීන් සූදානම් වන්නේ බංගලාදේශයෙන් පවා ඩොලර් ඉල්ලීමට සිදු වී ඇති රට කබලින් ලිපට ඇද දැමීමටද යන්න සබුද්ධික ජනතාව විසින් විමසිය යුතු ගැටලුවකි!