නොරොච්චෝලේ පරිසර ගැටලු විසඳීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීමට එකඟතාවය

 

නොරොච්චෝලේ බලාගාරයේ තිබෙන පරිසර ගැටලු විසඳීමට ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසන් සභාව, වයඹ මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර පදනම් පුද්ගලික සමාගම විසින් ගිවිසුම් අත්සන් කිරීමට එකඟතාව පළ කර තිබේ.

එම ක්‍රියාකාරි සැලැස්ම අනුව දිගුකාලීන හා කෙටිකාලීන විසඳුම් ලබාදීමටත් බලාගාරයෙන් නිකුත්වන අළුවලට ස්ථිර විසඳුමක් ලබාදීමටත් මෙමඟින් හැකියාව තිබේ. ගල් අඟුරු බලාගාරයෙන් නිකුත්වන අළුවලට පිළියමක් ඇති කිරීමට නව යන්ත්‍ර සූත්‍ර සවිකිරීමට කටයුතු යොදා ඇත.

මීට අදාළ ගිවිසුම පසුගිය බ්‍රහස්පතින්දා වන විට අවසන් කර ඇති අතර, ඉදිරි සති දෙක ඇතුළත අත්සන් කිරීමට නියමිතයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජනේරුවරුන් නොරොච්චෝලේ බලාගාර‍යේ තිබෙන පරිසර ගැටලු පිළිබඳ සාමාන්‍යාධිකාරිවරයා දැනුම්වත් කර ඇති අතර, ෆලයි ඇෂ්වලින් සිමෙන්ති නිපදවීම සඳහා දැනටමත් ටෙන්ඩර් කැඳවා ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පැවැසීය.

සුළං බාධකයක් ඇති කිරීමටත් බලාගාරය අවට ඉඩම් මිලදීගෙන ආරක්ෂිත කලාපය පුළුල් කර ග්‍රීන් බෙල්ට් එකක් නිර්මාණය කිරීමටත් පියවර ගෙන ඇති බවත් ද ගල් අඟුරු මිල දී ගැනීමේ දී තිබෙන තාක්ෂණික පිරිවිතර වෙනස් කර නව සූත්‍රයක් හඳුන්වාදීමත් එමඟින් ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු මිල දී ගැනීමේ හැකියාව පවතින බවත් ඒ මහතා පැවසුවේ ය.

නොරොච්චෝලේ බලාගාරයට අදාළ පරිසර බලපත්‍රය නුදුරේදීම ලබාදීමට කටයුතු කරන බවත් එහි ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ තමන් සෑහීමකට පත්වන බවත් වයඹ පරිසර අධිකාරිය පැවැසීය.

\http://siyathanews.lk/archives/8521

Leave a Reply

Your email address will not be published. Required fields are marked *