නිකන් ලැබෙන හිරු එළියෙන් විදුලිය නිපදවන එක, කෙතරම් නම් ලාභද…?

මේ දිනවල වැඩිපුරම කතා කරන මාතෘකාවක් තමයි පුනර්ජනනීය විදුලි නිෂ්පාදනය. ඒ අතරිනුත් හැමදාම, අඩුවක් නැතිව ලැබෙන හිරු එළියෙන් විදුලිය නිපදවීම ගැන බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තියෙනවා. 

ඇත්තටම හිරු එළියෙන් විදුලිය නිපදවන එක රටට කොච්චර ලාභද?…… 

” එහෙම නම් මෙච්චර කාලයක් මේ තාක්ෂණය අපේ රටේ මහා පරිමාණයෙන් ක්‍රියාත්මක නොකලේ ඊට සම්බන්ධ වෘත්තීයවේදීන්ගේ මොකක්හරි අපි නොදන්න මාෆියාවක් නිසාද?……

එහෙම නැත්නම් අපි නොදන්නා හේතුවක් මේකට තියෙනවාද?….

හැමෝටම මේ ගැන ප්‍රශ්න තියෙන නිසා, සංඛ්‍යාලේඛන එක්කම මේ ගැන විමසීමක් කරල බලමු.” 

අපි ඉස්සෙල්ලම පොඩි ගානක් හදලා මේක තේරුම් ගන්න බලමු. 

====================

ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2021 විදුලිබල මණ්ඩලය සතු තෙල් වලින් විදුලිය ජනනය කරන තාප බලාගාරවලින් විදුලි ඒකක මිලියන 1,237 (1,237 GWh) හදලා තියෙනවා. ඒකට වැය වෙලා තියන මුළු මුදල රුපියල් මිලියන 39,186. ඒ කියන්නෙ නිකං ගණං හදලා බැලුවොත් එක ඒකකයකට රුපියල් 31.67 (31.67 Rs/kWh). 

2021 අවුරුද්දේ පොළොව මත සවිකල සූර්ය බලාගාර වලින් විදුලි ඒකක මිලියන 154.5 (154.5 GWh) හදලා තියෙනවා. ඒ අයට ගෙවලා තියෙන මුදල රුපියල් මිලියන 3,248. ඒ කියන්නේ විදුලි ඒකකයකට ගිහිල්ලා තියෙන්නේ රුපියල් 21.01 (21.01 Rs/kWh) විතරයි. 

දැන් අපි බලමු,

2021  අවුරුද්දේ ලංකා විදුලිබල මන්ඩලයේ තෙල් වලින් දුවන තාප බලාගාර ඔක්කොම නවත්තලා ඒ විදුලි ඒකක මිලියන 1,237  සූර්ය බලයෙන්  ගත්තනං ලංකාවට පාඩුද, නැත්තං වාසිද?, කියලා. 

බැලූ බැලූ බැල්මට හැමෝම කියයි සූර්ය බලය ඒකකයක් රුපියල් 21.01 වෙද්දී, තාප විදුලිය ඒකකයක් රුපියල් 31.67 (Rs/kWh) වෙනවා. ඒ හින්දා සූර්ය බලයෙන් විදුලිය නිපදවන එක තාප විදුලියට වඩා ලාබයි කියලා. 

ඒකනේ හැමෝම විදුලිබල මණ්ඩලයට දොස් කියන්නේ?… 

ඒත්  ඇත්තම කතාව ඔය කියන දේ 2021 අවුරුද්දේ වුනානම්…. ” *රුපියල් මිලියන 1,069 විදුලිබල මණ්ඩලයට පාඩුයි*. “

“සූර්ය බලයෙන් විදුලි ඒකකයක් නිපදවන්න අඩු වියදමක් යද්දී කොහොමද එහෙම වෙන්නේ”….

මම දැන් කියන්නම් කොහොමද ඒක වුනේ කියලා…. 

==========================

විදුලිබල මන්ඩලයේ තාප බලාගාර වලට 2021 අවුරුද්දේ වියදම් වෙච්ච බිලියන 39 ඇතුලේ තියෙනවා බිලියන 14 ක් , හරියටම කියනවා නම් රුපියල් මිලියන 14,266 ක් වෙච්ච ස්ථාවර වියදම්, (Fixed Cost). ඒ කියන්නේ ඒ බලාගාරවලින් විදුලි ජනනය සම්පූර්ණයෙන්ම නැවැත්තුවත් ඔය කියන ස්ථාවර වියදම එලෙසම දරන්න විදුලිබල මණ්ඩලයට සිද්ධ වෙනවා. 

විදුලිය ජනනය කරන කොට වැයවෙන්නේ ඔය කියන ස්ථාවර වියදමට අමතරව යන ඉන්ධන වියදමයි. විදුලි ජනනය නැවැත්තුවොත් ඉතුරුවෙන්නේ ඉන්ධන සඳහා යන වියදම විතරයි. ස්ථාවර වියදම එහෙමමයි. ඒක කොහොමත් දරන්න වෙනවා.

ඒ ස්ථාවර වියදමට අපි කියනවා (Capacity Cost), එහෙම නැත්නම් ධාරිතාව (Capacity) සඳහා යන වියදම, එහෙම නැත්නම් විදුලි ජනන “හැකියාව” (generating capacity) පවත්වා ගැනීම සඳහා යන වියදම කියලා. 

(ඒ ගැන වැඩි විස්තර පස්සෙ කියන්නම්.)

දැන් අපි ආයි පාරක් අර ඉස්සෙල්ලා කියපු සරල අංක ගණිත ගාන හදලා බලමු. 

2021 අවුරුද්දේ ලංවිම තෙල් තාප බලාගාර ඔක්කොම නවත්තලා  ඒවායෙන් ජනන කරපු විදුලි ඒකක මිලියන 1,237, ඒකකයක් රු. 21.01 ගානේ සූර්ය බලයෙන් ගත්ත නම්,….

සූර්ය විදුලියට වැය වෙනවා රුපියල් මිලියන 25,989. (1,237x 21.01).

ඒ වියදමට අපිට එකතු කරන්න සිද්ද වෙනවා අර රුපියල් මිලියන 14,266 වෙච්ච ස්ථාවර වියදම. 

දැන් ඔය දෙකම එකට එකතු කලහම ලැබෙනවා රුපියල් මිලියන 40,255 ක්. 

“ඒ කියන්නේ ඉන්ධන වලින් ජනනය කරන එක නවත්තලා සූර්ය බලයෙන් ජනනය කරොත් බිලියනයකටත් වඩා වැඩිපුර වියදම් වෙනවා.”……. ඒක තමයි ඇත්ත කතාව. 

එතකොට කෙනෙක් අහන්න පුළුවන් “ඇයි එහෙම ස්ථාවර වියදමක් තියෙන්නෙ”?….  ඒ මොනවටද කියලා . 

ස්ථාවර වියදම තමයි , ඒ බලාගාර වලට කරපු ප්‍රාග්ධන ආයෝජනය. ඒ බලාගාර *ඕනෑම වෙලාවක විදුලිය ජනනය කරන්න සූදානමින්* තබා ගැනීම වෙනුවෙන් කරන නඩත්තු කටයුතු සඳහා යන වියදම්, කාර්ය මණ්ඩල සඳහා වන පඩි නඩි,  ගොඩනැගිලි නඩත්තු කිරීමේ වියදම් වගේ දේවල්.

එතකොට කෙනෙක් අහන්න පුලුවන් සූර්ය බලයෙන් විදුලිය ගන්නවනම් මොකටද අපි ඒ වගේ විශාල වියදමක් දරලා තාප බලාගාර නඩත්තු කරන්නේ, ඒවා වහල දාල ඕනෙනං විකුණලා දාන්න පුළුවන්නේ, එතකොට ඔය ස්ථාවර වියදමත් ඉතුරුයි නේ කියලා.

අපි ඒකත් පොඩ්ඩක් සරලව විමසලා බලමු..

=====================

හැමදෙනෙක්ම වගේ විදුලිය ජනනය කරනවා කියනකොට හිතන්නේ ජනනය කරලා ලැබෙන විදුලි ශක්ති ඒකක ගණන (kWh) එහෙම නැත්තං unit ගණන ගැන විතරයි.  විදුලි ඒකකයක මිල සංසන්දනය කරලා තමයි සූර්ය බලය තාප බලයට වඩා ලාබයි කියන ගණන් හැදිල්ල හැමෝම කරන්නේ. ඒත් විදුලි පද්ධතියක ජනන කරන විදුලි  ශක්තියට  අමතරව ඉතාමත් වැදගත් තවත් පරාමිතියක් තියෙනවා. ඒකෙන් මනින්නෙ විදුලි බල ධාරිතාව, (Generating Capacity). මනින ඒකකය තමයි MW. 

විදුලි පාරිභෝගිකයන් ඉල්ලන විදුලි  ශක්ති (Energy) ඒකක ගණන (kWh) විදුලිබල මණ්ඩලයට සපයන්න වෙනවා වගේම හැම තප්පරයක් ගානෙම විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බලය (Power) සඳහා වන ඉල්ලුමත් (MW) අඩුවක් වැඩියක් නැතුව හරියටම එපමණකින්ම සපයන්න විදුලිබල මණ්ඩලයට සිද්ධ වෙනවා. ඒ කියන්නේ යම් කිසි වෙලාවක විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බල ඉල්ලුම (Power Demand) 2000MW ක් නම් හරියටම 2,000MW ම ජනනය කරන්න විදුලිබල මණ්ඩලය සිද්ධ වෙනව. ඔය කියන ඉල්ලුම සහ සැපයුම මෙගාවොට් කීපයකින් හරි එහෙ මෙහෙ වුනොත් පද්ධතියේ සංඛ්‍යාතය Hz පනහෙන් එහාට වෙනස් වෙනව. ඒක කොච්චර භයානකද කියලා කියනවා නම් සංඛ්‍යාතය හර්ට්ස් තුනක් පහලට ඇවිත්, 47 Hz  වුණොත් මුළු පද්ධතියම තත්පර ගණනක් ඇතුළත කඩා වැටෙන්න පුළුවන්.

ඒක හින්දා විදුලි ශක්තිය (Energy – kWh) පාරිභෝගිකයන්ට සපයනවා වගේම පාරිභෝගිකයන්ගේ විදුලි බල ඉල්ලුමත් (Power – MW) තත්පරයක් තත්පරයක් ගානේ සපයන්න විදුලිබල මණ්ඩලයට සිද්ධ වෙනවා. 

ඒ කටයුත්ත කරන්න විදුලිබල මණ්ඩලයට විදුලි ජනන ධාරිතාවක් (Generating Capacity) තියෙන්න ඕනේ.  සාම්ප්‍රදායික තාප හෝ ජල විදුලි බලාගාර වලින් විදුලි ශක්තිය (Energy) වගේම නිශ්චිත විදුලි බල ධාරිතාවක් (Firm Power Capacity ) අපිට ලැබෙනවා. ඒත් සූර්ය බලයෙන් අපිට ලැබෙන්නෙ විදුලි ශක්තිය විතරයි. ඒක හින්දා හැමවෙලේම විදුලිබල මණ්ඩලයට සිද්ධ වෙනවා ඕනෑම වෙලාවක  විදුලි ජනන ධාරිතාව (Power Generating Capacity) තමන්ට අවශ්‍ය විදිහට හසුරුවන්න පුළුවන් ස්ථාවර ධාරිතා බලාගාර (Firm Power Plants) පද්ධතියේ තියාගන්න. ඒ ධාරිතා හැකියාව තමයි අපි Firm Capacity කියලා කියන්නේ. ඒ ධාරිතා හැකියාව තබා ගැනීම සඳහා  දරන්න වෙන වියදම, විදුලි ජනනය කරන වෙලාවෙදි ඉන්ධන සඳහා වන වියදමට වඩා වෙනස්. 

ඒක හරියට අපිට පැයට කිලෝ මීටර් 150ක් යන්න පුලුවන් හැකියාව තියෙන වාහනයක් ගත්තා වගේ.

ආයෝජන වියදම, වාහනය ධාවන තත්ත්වයේ තබා ගැනීම සඳහා කරන්න වෙන නඩත්තු වියදම, වගේ වියදමක් තමයි ධාරිතාව සඳහා ගෙවන ස්ථීර වියදම (Fixed Capacity Cost). ඒ  වාහනෙන් ගමනක් යනකොට හැම කිලෝමීටරයකට වැය වෙච්ච ඉන්ධන වියදම (Rs/km) වගේ තමයි අර විදුලි ඒකකයක් සඳහා යන වියදම (Rs/kWh).

=========================== 

ඔය කරුණු ඔක්කොම සලකලා බලද්දී තේරුම් ගන්න පුළුවන් මේ හැමදේකම අපි නොදකින පැත්තකුත් තියෙනවා කියලා. අපි මේක තේරුම් කරලා දෙන්න 2021 අවුරුද්දේ ගණන් හිලව් ගත්තේ දැන් තියන ඉන්ධන වියදම් අසාමාන්‍ය ඒවා හින්දා. ඒක ලෝක යුද තත්ත්වයක් හින්දා ඇති වෙච්ච එකක් . පුනර්ඡනනීය විදුලිය ඉන්ධන දහනයට වඩා හැම අතින්ම හොඳයි. ඒක ගැන කිසිම තර්කයක් නෑ. ඒ වගේම ලෝකය පුරාම පුනර්ජනනීය විදුලිය සඳහා යන වියදම  ඉතා ශීඝ්‍රයෙන් අඩු වෙමිනුයි පවතින්නේ. මුළු ලෝකෙම අනාගතය පුනර්ජනනීය විදුලිය කියන එක ඉතාම පැහැදිලියි. අපි අනිවාර්යෙන්ම මේ රට එතෙන්ට ගෙනියනවා. ඉහළින් කරපු සරල පැහැදිලි කිරීම කලේ රටේ බහුතරයක් නොදන්න දේවල් ටිකක් මේක පිටිපස්සෙ තියෙනවා කියන එක පැහැදිලි කරන්නයි. ඒ මිසක් පුනර්ජනනීය විදුලිය, තාප විදුලිය සංසන්දනය කරන්න එහෙම නෙමෙයි. මේක දැන ගෙන යා යුතු ගමනක්. බොහොම සැලසුම් සහගතව යා යුතු ගමනක්. ඒක නිසයි අපි අවසාන අවුරුදු 5හේ අපේ සැලසුම්වල වසරින් වසර ක්‍රමානුකූලව පුනර්ජනනීය විදුලිය වැඩි කරලා තියෙන්නේ. සැලසුම් කරපු විදිහට පුනර්ජනනීය විදුලිය පද්ධතියට එකතු වුණේ නැහැ. අඩුපාඩු ගොඩක් තියෙනවා. ඒව හදාගෙන අනිවාර්යෙන්ම අපි මේ රට නැවතත් වාරයක් පුනර්ජනනීය විදුලිය මත පදනම් වෙච්ච විදුලි පද්ධතියක් කරා ගෙනියනවා. ඒක තමයි අපේත් ඉලක්කය.ඒක කරන්න හැමෝම අපිව තේරුම් අරගෙන අපිට සහයෝගය දෙයි කියලා අපි හිතනවා. 

ලක්මාලි කරුණානායක – ප්‍රධාන ඉංජිනේරු – බලශක්ති කළමනාකරණ -වයඹ පළාත II – ලංකා විදුලිබල මණ්ඩලය

2022/06/19

Leave a Reply

Your email address will not be published. Required fields are marked *