ගල් අගුරු මතම යැපෙන බවට විදුලි ඉංජිනේරුවන්ට එල්ලවන ‌චෝදනා වැරදියි

charitha

විදුලිය මොහොතක් ඇනහිටීම මුළු රටම අකාර්‍යක්ෂම කරනු ලබයි. රටේ ජීවනාලිය විදුලිබලයයි. රටේ ජනතාවට විදුලිය සැපයීමේ වගකීම පැවරී ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයටයි. එහෙත් ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන් බොහෝමයකට මෙහිදී බරපතල චෝදනාවක් එල්ල වී ඇත. එනම් ඉංජිනේරුවන් ගල් අඟුරු හැර විදුලිය නිපදවීමට වෙනත් විකල්පයක් කෙරෙහි අවධානයක් නොමැති බවයි. මේ චෝදනා පිලිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතාගෙන් විමසීමක් කලෙමු.

“විදුලි ඉංජිනේරුවන්ට අවශ්‍ය රටට සහනයක් ලැබෙන අඩු වියදමින්  විදුලිය නිපදවීමක්. නමුත් අධික මිලගණන් වලට විදුලිය සැපයීමට ඩීසල් බලාගාර වෙත යොමු කිරීමට කිසියම් පිරිසක් කුමන්ත්‍රණකාරීව බොරු ප්‍රචාර කරමින් සිටිනවා”

ප්‍රශ්නය: ගල් අඟුරු බලාගාර ගැන ඔයතරම් උනන්දුවක් දක්වන්නේ ඇයි?

අපෝ නෑ. අනාගත විදුලිබල අවශ්‍යතාව පුරෝකථනය කල ලංවිම විදුලි ඉංජිනේරුවන් එදා සිට මේ දක්වාම ලෝකයේ අඩුම වියදම් විදුලිබල ජනන ක්‍රමයක් වන ගල් අඟුරු බලාගාරයක අවශ්‍යතාව මතුකලා. ඔය පිලිබඳව මුලින්ම යෝජනා වෙන්නේ 1987 වර්ෂයේදී ඉදිරිපත් වූ ජනන අවශ්‍යතා පුරෝකථන වලදී. නමුත් එදා ඉඳලා 2005 වෙනකන් කාලය තුල ජපානය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය වැනි රටවල් වලින් මෙරටට ගල් අඟුරු බලාගාර ලබාදීමට ඉදිරිපත් වුනත් එවකට තිබූ රජයන්හි අදූරදර්ශී ප්‍රතිපත්ති හේතුවෙන් ඒ යෝජනා ඔක්කොම කුණුකූඩයට විසිවුනා. 2002 වර්ශය වනවිට ඉදිරියේදී ඇතිවෙන බලශක්ති හිඟයත් සමග රටම කලුවරේ බවට පවසමින් ඉංජිනේරු සංගමය ප්‍රමුඛව සමස්ථ ලංවිම සේවකයාම වෘත්තීය පාරට බැසීමේ ප්‍රථිපලයක් ලෙස යාන්තම් රටට නොරොච්චෝලෙයි විදුලි බලාගාරය ලැබුණේ. ඒත් හැබැයි ජයිකා ව්‍යාපෘති ආයෝජනයක් විදිහට ජපාන බලාගාරයක් ගන්න පුලුවන්කම තියෙද්දි ආණ්ඩුව තෝරගත්තෙ චීනෙන් දුන්න බලාගාරයක්.  ඒ වෙනකොට  අඩුවියදම් බලාගාර රටට නොමැති වීමෙන් සිදුවූ පාඩුව රුපියල් බිලියන 900කට අධිකයි ඒ නිසා මොකක් හරි දෙන බලාගාරයක් ගන්න වෙන තත්වයට ලංවිමත් ඇද වැටිලා තිබ්බ. නැත්තම් අනිවාර්යයෙන්ම දවසට පැය 6ක් වත් ලයිට් කපන්න වෙන තත්වයක් උදාවෙමින් තිබ්බෙ. මේ පාඩුව රටේ ජනතාවගේ විදුලි බිලෙන් අය නොවුනට කඩෙන් ගන්න ලුණු පැකට් එකේ ඉඳන්ම ගෙවන්න වෙලා තියෙනවා පොඩ්ඩක් හොයලා බලන්න. තාක්ෂණික ගැටලු ආවත් පසුව ලංවිම ඉංජිනේරුවන්ගේ මැදිහත් වීම මත ඒවා නිරාකරණය කරගෙන නොරොච්චෝලේ බලාගාරය මේ වෙනකොට ඒක හදන්න ආයෝජනය කරපු මුලු වියදමම හොයාගෙන දැන් සම්පූර්ණයෙන්ම ලංවිමට ලාභ උපයමින් ක්‍රියාත්මක වෙන්නෙ. ඒ කාලෙ ඉඳන් යෝජනා වුනු ඔක්කොම අඩු වියදම් බලාගාර ටික හැදුනා අද රට මේ පත්වෙලා තියෙන ආර්ථික අවපාතයට මොනම හේතුවක් නිසාවත් මුහුණ දෙන්න වෙන්නෙ නෑ.

ප්‍රශ්නය: විදුලි ඉංජිනේරුවන් වෙනත් බලශක්ති ක්‍රමවලට ප්‍රමුඛතාවක් නොදෙන්නේ ඇයි?

මෙම කතාව තනිකරම අපේ රටේ සූර්‍ය විදුලි පැනල කර්මාන්ත හිමියන් සහ ඔවුන්ගෙන් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන ඒජන්තයින් විසින් මවල පෙන්නන බොරු කතාවක් මිසක් කිසිදු පදනමක් ඇති ප්‍රකාශයක් නෙවේ. ලංවිම දිගු කාලීන ජනන සැලැස්ම තුල එදා ඉඳන්ම ගල් අඟුරු වලින් මෙන්ම මෙන්ම ද්‍රවීකෘත ස්වභාවික වායුවලින්(LNG) සහ සූර්ය සහ සුලං බලය වැනි සුනිත්‍ය බලශක්ති ප්‍රවයන්ගෙන්ද බලශක්තිය නිපදවීමට සැලසුම් කරල තිබ්බා. මේ පෙන්නන රූපයේ තියෙන්නෙ 2022-2041 කාලසීමාවට යෝජිත දිගුකාලීන ජනන සැලැස්මේ ඒ ඒ ප්‍රභවයන්ට ප්‍රමුඛත්වය දීල තියෙන විදිහ. ඒක බලන ඕනම කෙනෙක්ට තේරෙනවා ඔය කතාව අමූලික බොරුවක් කියලා. ඇත්තටම් ඉදිරියේදී විදුලිබල උත්පාදනයේදී ගල් අඟුරු වලට තියෙන ප්‍රමුඛත්වය සෑහෙන අඩු වෙලා ඒක සුනිත්‍ය බලශක්තියට සහ පරිසර හිතකාමී LNG බලශක්තියට යොමු වෙලා තියෙනව. අනික මේ සැලසුම් වසර දෙකකට වතාවක් ඒ පිලිබඳව විෂය ප්‍රවීනත්වය තියෙන විදුලි ඉංජිනේරුවරුන් මගින් යාවත්කාලීන වෙනව. එතකොට ඒ වෙද්දී ලෝකයේ තියන නව ජනන තාක්ෂණයන් මත සහ ඒවායේ වියදම, විශ්වාසනීයත්වය වගේ කරුණු මත පදනම්ව ඒ යාවත්කාලීන වීම වෙන නිසා රටට අවශ්‍ය අංගසම්පූර්ණ දිගුකාලීන ජනන සැලැස්මක් හැමවෙලේම ඉදිරිපත් කිරීමට අපේ ඉංජිනේරුවෝ සමත් වෙලා තියෙනවා. ඔය ගල් අඟුරු මත්තෙම අපේ ජනන සැලසුම් රඳාපවතිනවා කියන එක සම්පුර්ණ බොරුවක්. නරකම වැඩේ කියන්නෙ අපේ ජනන සැලසුම් ගැන අන්තර්ජාලයේ ඉතාම පැහැදිලිව විස්තර තියෙනවා.

ප්‍රශ්නය : ගල් අඟුරු ටෙන්ඩර් වලින් විදුලි ඉංජිනේරුවන්ට කොමිස් කුට්ටි ලැබෙනවා කියලා බරපතල චෝදනාවක් තියෙනවා?

ඔය ගල් අඟුරු ටෙන්ඩරේ වෙන විදිහ දන්නව නම් කවුරුවත් ඔයවගේ ප්‍රකාශයක් කරනවා තියා අහන්නෙවත් නෑ. ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය වන ඛනිජ ඉන්ධන සපයන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංථාවෙන්. ඒත් ඒ ආයතනයට ගල් අඟුරු මිලදී ගැනීමේ ප්‍රතිපත්තියක් තිබ්බෙ නැති නිසා එවකට පැවති රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත ලංකා ගල්අඟුරු සමාගම කියලා ලංවිමට අනුබද්ධිත සමාගමක් පිහිටෙව්වා එය මගින් මෙරටට අවශ්‍ය ගල්අඟුරු වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීම සහ ප්‍රධානය කිරීම සිදු කරන්න. මෙම සමාගම ලංකා විදුලිබල මණ්ඩලයට අනුබද්ධිත සමාගමක් වුනත් ලංකා විදුලි පුද්ගලික සමාගම ඒ කියන්නෙ LECO එක සහ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම(LTL) වැනි අනෙකුත් අනුබද්ධිත සමාගම් ලෙසටම ස්වාධීනවයි තමන්ගෙ කාර්යයන් ඉටුකරගෙන යනවා. ලංවිම විදුලි ඉංජිනේරුවන්ට කිසිම සම්බන්ධයක් නෑ. ගල් අඟුරු වලින් විදුලි ඉංජිනේරුවෝ කොමිස් ගන්නවා කියලා චෝදනා කරන්නේ මොන පදනමකින්ද කියලා තේරුම් ගන්න අමාරුයි.

ලෝකයේ අනිත් රටවල ගල් අඟුරු බලාගාර වසාගෙන යනවා. අනාගතයේ ඔවුන් ගල් අඟුරු බලාගාර හදන්නෙත් නැතිලු. අපේ රටේ විදුලි ඉංජිනේරුවන් බොහෝමයකට නම් ගල් අඟුරු බලාගාර තරම් වෙනත් විසඳුමක් නෑ නේද?

සාමාන්‍ය අන්තර්ජාලය භාවිතා කරන්නෙකුට වුනත් මෙම ප්‍රකාශය අමුඅමුවේ අසත්‍ය ප්‍රකාශයක් බවට සොයා ගැනීමට වැඩි වෙලාවක් යන්නෙ නෑ. උදාහරණ පෙන්වන්නම්. සමස්ථ විදුලිබල ජනනයෙන් ගල් අඟුරු ජනන ප්‍රතිශතය ඉන්දියාවේ සියයට 52.6ක්. බංග්ලාදේශයේ සියයට 49.67ක්. ඉන්දුනීසියාවේ සියයට 38ක්. වියට්නාමයේ සියයට 43ක්. ජපානයේ සියයට 31ක්. පිලිපීනයේ සියයට 41.8ක්. දකුණු කොරියාවේ සියයට 28.5ක්. මේ රටවල් අනාගතයටත් ගල් අඟුරු බලාගාරවලින් වැඩි ධාරිතාවක් ලබා ගැනීමට සැලසුම් කරලා තියනවා. ඔබට මේවා අන්තර්ජාලයෙන් පරික්ෂා කරලා බලාගන්න පුලුවන්. ලෝකයේ වෙනත් රටවල් ගල් අඟුරු වලින් විදුලිය ලබාගන්න එක නතර කරලා නෑ. ? කවුරු කොහොම තර්ක කලත් ලෝකයේ තියන විදුලිබල ජනන ක්‍රමවේදයන්ගෙන් විශ්වාසනීයත්වය සහ අඩු වියදම යන දෙකම සැලකුවාම ඉස්සරහින්ම තියෙන්නෙ ගල් අඟුරු තමා. අපි වගේ ඌණ සංවර්ධිත රටකට ඕන අඩු වියදමින් විශ්වාසනීය බලශක්තියක් ලබාගන්න පුලුවන් ක්‍රමවේදයක්. ඒකෙ උඩින්ම ඉන්නෙ ගල් අඟුරු. ඊලඟට තියෙන්නෙ  LNG.  සුනිත්‍ය බලශක්ති ක්‍රමවේදයන් කෙරෙහි ලෝකය ගමන් කරනවා තමා නමුත් එය සිදුවන්නේ තාක්ෂණයන්ගේ දියුණුව සහ වර්ථමානයේ සිදු කෙරෙන පාලක ව්‍යාපෘති වල ප්‍රගතිය අනුවයි. දැනටත් මෙම සුනිත්‍ය බලශක්ති විකල්පයන් මිලාධික වීම සහ අස්ථාවර වීම නිසා තමා ඉහත පෙන්වන දියුණු සහ සංවර්ධනය වෙන රටවල් පවා තවමත් අඩු වියදම් විදුලිබල ජනන ක්‍රමවේදයක් වන ගල්අඟුරු බලාගාර සැකසීම නවත්වා නැත්තෙ. තව කරුණක්.  ඒක පුද්ගල කාබන් විමෝචනය ගත්තම  ශ්‍රී ලංකාව ඉන්නේ ලෝකයෙන්ම 89 වැනි ස්ථානයේ. එම අගය 0.8 ටොන්/පුද්ගල වන අතර ලයිස්තුවේ මුලම සිටින ඇමෙරිකාව ගත්තම ඒ අගය 15.52ක්. චීනයේ ඒ අගය 7.38ක්. අපි මේ තරම් කාබන් විමෝචනය ගැන කලබල වියයුතු නෑ. විදුලි ඉංජිනේරුවන්ට අවශ්‍ය අඩුවියදම් විශ්වාසනීය විදුලිබල ජනනයක් රටට හදාගෙන ඒකෙන් ඉතුරු කරගන්න රුපියල් වලින් අපේ රට සංවර්ධනය කරගන්න. අනික අපේ රටේ සමස්ත විදුලිබල නිපැයුමෙන් මේ දිනවල 60%කට ආසන්න ප්‍රමාණයක් ජනනය වන්නේ මෙරට තියෙන සුනිත්‍ය බලශක්ති බලාගාර මගින්. මණ්ඩලය සුනිත්‍ය බලශක්තිය ප්‍රතික්ෂේප කරනවා  කියන කතාව සත්‍යයක් නොවන බව පැහැදිලියිනේ. මේ අසත්‍ය ප්‍රචාර කරන්නේ රටේ ජනතාවට කරුණු වසන් කරලා නොමග ඇරලා රට විනාශ කරලා හරි සල්ලි හම්බකරගන්න හදන පිරිස්.

ප්‍රශ්නය : රටේ බලශක්ති අර්බුදයක් ඇතිකරලා මඩි තරකරගන්න පුලුවන් කාටද?

එවැනි අය ඉන්නවා. දැන් ඔය පෙන්වන මතවාද බහුතරයක් අමූලික බොරු කියලාඅ අපි ඔප්පු කරලම පෙන්නුවනේ. මේ බොරු මතවාද ජනතාව අතර ප්‍රචලිත කරවන පිරිසක් ඉන්නවා. ඒ අයට අවශ්‍ය රටේ බලශක්ති ක්ෂේත්‍රය අවුල් කිරීමටයි. අපේ සැලසුම් අනුව ඉදිරියේදී වැඩිපුරම එකතු වෙන්නේ සුනිත්‍ය බලශක්තිය. 2030 වනවිට සූර්ය බලයෙන් මෙ.වො 2,700ක් හා සුළං බලයෙන් මෙ.වො 1,100ක් නිපදවීමට සැලසුම් කර තිබෙනවා. මේක අපි වගේ තුන්වෙනි ලෝකේ රටකට ලොකු අභියෝගයක්. අති විශාල මුදලක් ආයෝජනය කිරීමට සිදුවෙනවා. පොළව මත ඉදිවන සූර්ය සහ සුළං බලාගාර ඉදිකරනු ලබන්නේ තරඟකාරී මිල කැඳවීමකින්. ඩීසල් බලාගාර දුවන තැනට රට තල්ලු කිරීමට පිරිසක් බොරු මත ප්‍රචාරණය කරන බව අපේ රටේ ජනතාව තේරුම් ගන්නේ නම් එය ඉතාම වැදගත්.

Click the image to enlarge
By Eng Charitha Dayarathne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *