“හැම වහලයකම සූර්ය බල පද්ධතියක් සවි කරගත්තොත් මේ විදුලි අර්බුදයට විසඳුමක් ලැබේවිද?” ඔය කියන විදියට හැම නිවසකටම සූර්ය බල පද්ධති සවි කරන්න පුළුවන්ද?, පුළුවන් නම් ඒ ක්‍රියා පටිපාටිය මොකක්ද ?”. අද බොහෝ දෙනෙකු සැලකිලිමත් වෙන කාරණයක් පිළිබඳවයි මේ පැහැදිලි කිරීම. තමන්ගේ නිවසේ සූර්ය බල පද්ධතියක් සවි කරගන්න අදහස් කරන ඕනෑම කෙනෙකු ඒ පිළිබඳව යම්කිසි අවබෝධයක් ඇතිව සිටීම වැදගත්. එසේ නොමැතිව ඒ කාර්‍ය්යට අවතීර්ණ වුව හොත්, විවිධාකාර ගැටලු වලට මුහුණ දෙන්නට වනවා සේම, වැරදි අවබෝධයන් නිසා අයහපත් දේවල් සමාජගත වන්නටත් පුළුවන්.සූර්ය බල පද්ධතියක් නිවසකට සවි කර ගැනීමේ ආකාර කිහිපයක් පවතී. ඒ එක් එක් ක්‍රමයන් වලින් ඔබේ නිවසට සරිලන , ඒ වගේම ඔබගේ අවශ්‍යතාවය ඉටු වෙන ක්‍රමවේදය කුමක් දැයි මුලින්ම තීරණය කල යුතුය.
1. ජාතික පද්ධතියට සම්බන්ධ කල හැකි පරිදි පමණක් සවි කරන සූර්ය බල පද්ධති ( On Grid Solar System ) – මේ ක්‍රමයට සූර්ය බල පද්ධතියක් සවි කිරීමේදී, සූර්ය පැනල හරහා නිපදවන සියලුම විදුලිය ඒ අවස්ථාවේම ජාතික පද්ධතියට මුදාහරිනු ලබයි. මෙය ඍජුවම විදුලි පද්ධතියට මුදාහරින නිසා, සවි කිරීමට පලමුව අදාළ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්‍යාල හරහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. එසේම සූර්ය බල පද්ධති සවි කිරීම සඳහා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් අනුමත කරන ලද ආයතනයන් ඇත. නමුත් සූර්ය පැනල සවිකිරීමේ ආයතනයන් වෙත යන්නට පලමුව විදුලි බල මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම කල යුතු වේ. මන්ද සමහරවිට ඔබගේ නිවස පිහිටි ස්ථානය අනුව සූර්ය පැනල හරහා නිපදවන විදුලිය ජාතික පද්ධතියට එකතු කර ගැනීම ගැටලු සහගත වන්නට පුළුවන. Rooftop Solar System – වහල මත ඉදිකරන සූර්ය බල පද්ධති, ජාතික විදුලි පද්ධතියට එක් කර ගැනීමේදී සලකනු ලබන කරුණු ** මෙහිදී අදාළ නිවසේ විදුලි අවශ්‍යතාවය ජාතික පද්ධතිය මඟින් ලබා ගන්නා අතර, වහල මත ඉදිකර ඇති සූර්ය පැනල මඟින් නිපදවන විදුලිය ඒ අවස්ථාවේම ජාතික පද්ධතියට මුදාහරිනු ලබයි. මෙසේ බොහොමයක් යාබද නිවෙස් වලද සූර්ය පද්ධතීන් හරහා විදුලිය නිපදවීම සිදු වුව හොත්, ඊට අදාළ ට්‍රාන්ස්ෆෝමරයේ ධාරිතාවය ඉක්මවා යන තරම් විදුලි ප්‍රමාණයක් පද්ධතියට එකතු විය හැකිය. එය විදුලි පද්ධතියට හානිදායක කරුණකි. එබැවින් ට්‍රාන්ස්ෆෝමරයක ධාරිතාවයෙන් 80% ක ප්‍රමාණයකට වඩා සූර්ය පැනල සවිකිරීමේ හැකියාවක් නොමැත. ** එමෙන්ම සූර්ය පැනල මඟින් නිපදවන විදුලිය ඒ අවස්ථාවේම ජාතික පද්ධතියට මුදාහරින බැවින්, එය පරිභෝජනය කරන්නට ප්‍රමාණවත් තරම් පාරිභෝගිකයින් ඊට සම්බන්ධ විදුලි මාර්ගයේ සිටිය යුතුය. මන්ද එසේ නොමැති වුව හොත් විදුලි පද්ධතියට මුදාහරින විදුලිය කිසිවෙකු පරිභෝජනය නොකරන විට, සූර්ය පැනල සවිකර ඇති ස්ථාන ආසන්නයේ වැඩි වෝල්ටීයතාවයක් නිර්මාණය වී, ආසන්න නිවෙස් වල විදුලි උපකරණ වලට හානි විය හැක.එබැවින් සූර්ය පද්ධතියක් ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කර ගැනීමේදී ජාතික පද්ධතියට සහ අනෙකුත් විදුලි පාරිභෝගිකයින්ට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම, විදුලි බල මණ්ඩලය සතු වගකීමකි. එමෙන්ම විදුලි පාරිභෝගිකයින් ලෙස එය අප සැමගේමද ජාතික වගකීමකි. ඒ පිළිබඳව මනා අවබෝධයෙන්, දැනුවත් භාවයෙන් සිටීම මෙන්ම එයට අවශ්‍ය සහය දැක්වීමද අපගේ යුතුකමකි.
2. ජාතික පද්ධතියට සම්බන්ධ නොකරන සූර්ය පද්ධති ( Off Grid Solar System ) – ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධතාවක් නොමැතිව තමන්ගේ පෞද්ගලික විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීමට පමණක් සරිලන පරිදි මෙම පද්ධති සවිකර ගනු ලබයි. එහිදී සූර්ය පැනල හරහා නිපදවන විදුලිය බැටරි පද්ධතියක ගබඩා කරගනු ලබන බැවින්, විදුලිය විසන්ධි වී ඇති අවස්ථාවන් වලද, තමන්ගේ විදුලි අවශ්‍යතාවය ඒ හරහා සපුරා ගැනීමේ හැකියාව පවතී. එසේම ඉදිරියේදී අඛණ්ඩව විදුලිය සපයන කාලයන් වල වුව, දවසේ වැඩිම විදුලි ඉල්ලුම පවතින කාල සීමාවේදී ( Peak hours- රාත්‍රී 6.00 ත් 10.00 ත් අතර ) ජාතික පද්ධතියෙන් ඉවත් වී අධික පිරිවැයක් දරා නිපදවන විදුලිය පරිභෝජනයෙන් වැළකීමටද ඔබට පුළුවන. එය ජාතික වශයෙන් ඔබ විසින් සිදු කරනු ලබන වටිනා ක්‍රියාවකි. තවද ඔබගේ නිවසේ සාමාන්‍ය තෝරාගත් අවශ්‍යතාවයන් සඳහා කුඩා ප්‍රමාණයේ සූර්ය පැනල සවිකර ගැනීමෙන්ද, නිවසේ විදුලි බිල අඩුකර ගත හැකි අතර ජාතික පද්ධතියේ ඉල්ලුම අඩු කරවීමටද දායක විය හැකිය. උදාහරණයක් ලෙස වතුර උණු කිරීමේ උපකරණ කුඩා සූර්ය පැනලයක් හරහා ක්‍රියා කරවා ගත හැක. එමෙන්ම එළිමහන් විදුලි බල්බ සඳහාද ඉතාමත් පහසුවෙන් මේ ක්‍රමය යොදා ගත හැකිය.
3. ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමේ හැකියාව මෙන්ම ජාතික පද්ධතියෙන් වෙන්ව ක්‍රියා කිරීමේ හැකියාවද ඇති සූර්ය පද්ධති ( Hybrid Solar System )මෙම සූර්ය පද්ධතීන් සඳහාද ඉහත විස්තර කල ජාතික පද්ධතියට සම්බන්ධ වන සූර්ය පද්ධති (On-grid Solar System ) වලට අදාළ සියලුම කරුණු අදාළ වේ. එමෙන්ම මෙම ක්‍රමයේදීද සූර්‍ය පැනල වලින් නිපදවන විදුලිය බැටරි පද්ධතියක ගබඩා වන බැවින්, විදුලිය නොමැති අවස්ථා වලද විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීමේ හැකියාව තිබීමේ වාසියද ඇත.
Eng. Lakmali Karunanayake (Chief Engineer – EM – NWP1)