AdaDerana- දිගුකාලීන විදුලි ජනන සැලැස්ම ක්‍රියාවට නැංවීමට අවශ්‍ය ඉදිරි වැඩ කටයුතු කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්

April 25, 2018  04:17 pm

2018-2037 කාල පරාසය සඳහා පිළියෙළ කරන ලද දිගුකාලීන විදුලි ජනන සැලැස්ම කි‍්‍රයාවට නැංවීමට අදාළ ඉදිරි පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත උපදෙස් දී තිබේ.
දිගුකාලීන විදුලි ජනන සැලැස්ම කඩිනමින් කි‍්‍රයාවට නැංවීම පිළිබඳ අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.
මෙරට ඉදිරි විදුලිබල අවශ්‍යතාවය සපුරාලීම සඳහා  2018 වසරේ සිට 2037 දක්වා කාල පරාසය තුළ ඉදිකළ යුතු නව විදුලිබලාගාර ඇතුළත් දිගුකාලීන විදුලි ජනන සැලැස්ම ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කර අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.
අදාළ සැලැස්ම කි‍්‍රයාවට නැංවීම පිළිබඳ ගැටලූ ඇත්නම් සාකච්ඡා කර, පවතින බාධාවන් ඉවත් කර ගනිමින් මෙම කටයුතු කඩිනම් කර ගැනීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ට අවධාරණය කළේය.
එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මහජනතාවගේ ගැටලූවලදී ඔවුන් පීඩාවට පත්වීමට ඉඩ නොතබා මානුෂීය තීන්දු තීරණවලට එළැඹීම අත්‍යාවශ්‍ය බවයි.
දිගුකාලීන විදුලි ජනන සැලැස්ම කඩිනමින් කි‍්‍රයාවට නංවන ලෙස ඉල්ලමින් සහ වෙනත් වෘත්තීය ගැටලූ කිහිපයක් මුල් කරගනිමින් විදුලි ඉංජිනේරුවන් විසින් මෙම 08 වනදා ගැනීමට නියමිතව තිබූ වෘත්තිය කි‍්‍රයාමාර්ගයෙන් ඉවත්වන ලෙසට ද මෙහිදී ඉල්ලීමක් කළ ජනාධිපතිවරයා ඔවුන්ගේ සෙසු ඉල්ලීම පිළිබඳ ද ඉදිරි කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කර තීරණයකට එළැඹීමට අපේක්ෂා කරන බව  කියා සිටියේය.
අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, සරත් අමුණුගම, සාගල රත්නායක යන මහත්වරුන්ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය  බී.එම්.එස්. බටගොඩ, ශ‍්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.බී. ගනේගල,ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති සාලිය මැතිව්, විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ADA DERANA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *