මෙම වසරේ අප්රේල් මාසයේ පටන්, අපි රටක් විදියට දේශපාලනික, සමාජීය සහ ආර්ථිකමය ක්ෂේත්රයන් වල දැඩි ලෙස වෙනස්කම් වලට ලක් වූ බව අපි කවුරුත් දන්නා කරුණක්. ඒ අතරිනුත් ආර්ථිකය පහලටම ඇද වැටී, රට බංකොලොත් රටක් ලෙසයි දැන් ලෝකයම පිළිගෙන තියෙන්නේ.
මේ හේතු නිසා, ලංකා විදුලිබල මණ්ඩලය මගින් ජනතාවට පැය 24 පුරාම විදුලිය ලබාදීමේ අරමුණ ඇතිව සිදුකරගෙන ගිය ව්යාපෘති ගණනාවක්ම මේ වන විට අතරමග නැවතිලයි තියෙන්නේ. ඊට හේතුව නම්, අපට ණය ලබාදුන් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, JICA ආයතනය වැනි ණය ලබාදෙන ආයතන ඔවුන් පොරොන්දු වෙලා තිබුණු ණය ලබාදීම නවතා දැමීමයි. IMF එක හරහා ලංකාවට ණය ලබාදීම අනුමත කරන තෙක්, ඒ ආයතන ණය ලබාදෙන්නේ නැති බව තමයි ප්රකාශ කරන්නේ.
මේ ණය මුදල් නොලැබී යාමෙන් ලංකා විදුලිබල මණ්ඩලයට, රටේ ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් සදහා අත්යවශ්ය, ඉදිකරමින් තිබු LNG බලාගාර, සුළං බලාගාර සහ සුර්ය ශක්ති විදුලි උත්පාදන ව්යාපෘති අතරමග නවතා, පිළිතුරක් ලැබෙන තෙක් බලා ඉන්න සිදුවෙලා තිබෙනවා. ඒ වගේම මෙම බලාගාර හා ව්යාපෘති හරහා ඉදිරියේදී නිපදවීමට නියමිත විදුලිය, සම්ප්රේෂණය සදහා ඉදිකරමින් තිබූ හා ඉදිකිරීමට නියමිත ග්රිඩ් ව්යාපෘති සහ සම්ප්රේෂණ රැහැන් මාර්ග ව්යාපෘති අතරමග නැවතීම හේතුවෙන්, අදාළ කොන්ත්රාත්කරුවන් ඔවුන්ට ගෙවන්න තියෙන මුදල් ඉල්ලමින් විදුලිබල මණ්ඩලයට බලපෑම් කරන තරම් අසීරු අවස්ථාවකට අපි අද මුහුණ දෙමින් සිටිනවා.
කරුණු මෙසේ තිබියදී, ලගදී හරි අපුරු නිර්දේශයක් විදුලිබල අමාත්යංශයෙන් ලැබී තිබෙනවා. එනම් 150 MW පමණ හදිසි විදුලි මිලදී ගැනීම් වෙනුවෙන්, ලබන ජනවාරියේ ඉදන් අනුමැතිය අමාත්යාංශයෙන් ලබාගන්නා ලෙසයි. මීට කිසිසේත්ම විදුලිබල මණ්ඩලය විදියට, කිසිම කැමත්තක් නැහැ. මන්ද යත්, අඩු තරමින් මේ දිනවල අපි කරගෙන යන කාර්යයන්ටවත් ගෙවන්න මුදල් නැති කොට අලුත් ඒවාට ගෙවන්න හැකියාවක් නැති බව, අපිට හොඳාකාරවම තේරෙන නිසයි.
විදුලිබල මණ්ඩලේ ගිණුම තියෙන මහජන බැංකුව, දවස ගානේ මණ්ඩලයෙන් නිකුත් කරන චෙක්පත් වලට ගෙවීම් කරන්නේ, ජනතාව ගෙවන මුදල් එකතු වෙන ප්රමාණය අනුවයි. එකතු වෙන ප්රමාණයට වඩා වැඩිපුර ණයට කීයක්වත් දෙන්න හැකියාවක් මහජන බැංකුවට නැහැ. මොකද විදුලි බල මණ්ඩලය, ඒ තරමටම බැංකුවට ණයයි. ඒ නිසා බැංකුව කියන්නේ තවත් නම් ණයට දීමේ හැකියාවක් නැති බවයි.
මේ තත්වය දැනගෙනත් “ඇයි මේ හදිසි මිලදී ගැනීම්”, විදුලිබල මණ්ඩලය වෙනුවෙන්ද, නැතිනම් රටේ ජනතාව වෙනුවෙන්ද?, එහෙමත් නැතිනම් ඇත්තටම කවුරු වෙනුවෙන්ද මෙවැනි අත්තනෝමතික තීරණ ගන්නේ. තීරණය ඔබ සතුයි.
ලගදීම මාධ්යට කියයි රටේ ජනතාවට පැය 24 ම විදුලිය දෙන්න අපි යෝජනාවක් ගේනවා, ඒකට විදුලිබල මණ්ඩලේ මාෆියාකර ඉංජිනේරුවෝ කැමති නෑ කියල. ඊට පස්සේ ඒ දේවල් අනුමත කරන අයටත්, මේ අවස්ථාවාදීව යෝජනා ඉදිරිපත් කරන අයත් එක්ක එකතුවෙලා අපිට දොස් කියන්න පුළුවන්. “මණ්ඩලයේ හැමෝම වැඩි පඩි නම් ගන්නවා, ඒත් අපිට විදුලිය නැහැ. මේක විකුණමු, එතකොට ප්රශ්න සියල්ල විසඳිලා, මේක සුරපුරයක් වේවි” කියල.
අපිත් කැමතියි පැය 24 ට පැය 48 ක් වුනත් විදුලිය දෙන්න. මොකද විදුලි බල මණ්ඩලයේ සේවය කලාට, අපිත් රටේ සාමාන්ය විදුලි පාරිභෝගිකයින් තමයි. ඒ නිසා අපි කොහෙත්ම කැමති නෑ ලයිට් කපනවට. මොකද එතකොට අපේ ගෙවල් වලත් ලයිට් පත්තු වෙන්නේ නැහැ. නමුත් එහෙම දෙන්න දැනට තියෙන බලාගාර වලට අවශ්ය ගල් අඟුරු ටික, ඩීසල් ටික මිලදීගන්න වත් වියදම් කරන්න මුදල් නෑ. එහෙම තත්ත්වයක තවත් හදිසි මිලදී ගැනීම් වෙනුවෙන් වියදම් කරන්න මුදල් කොහෙන්ද?. ඒ නිසයි අපි හදිසි මිලදී ගැනීම් වලට යන්න එපා කියල කියන්නේ.
අපිව කබලෙන් ලිපට ඇද දාන්න එපා කියලයි මේ ඉල්ලන්නේ. අපි රටේ විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි අවශ්යතාවය සපුරාලන්න කරගෙන යන ව්යපෘති ගැන අවබෝධයෙන්, ඒ සදහා අවශ්ය සහයෝගය හා කාලය දෙන්න කියලයි අපි ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ. එහෙම වුනොත් මේ බංකොලොත් රට ගොඩ ගන්න අපිට අපගේ උපරිම දායකත්වය ලබා දෙන්න හැකියාව ලැබේවි.