විදුලි ඉංජිනේරුවන් 20 සිට අකුරට වැඩ – LAKBIMA

අඩු වියදම් විදුලි බලාගාර සැලැස්ම රජයට ඉදිරිපත් කර වසර කිහිපයක් ගතවී ඇතත්, මතෛක් එය ක්‍රියාත්මක කිරීමට පියවර නොගැනීම නිසා විදුලි ඉංජිනේරු සංගමය ලබන 20 දායින් පසු අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇත.
නව විදුලි බලාගාර ඉදි නොකිරීමෙන් ඉදිරියේදී බරපතළ බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව අවස්ථා කිහිපයකදීම රජයට කරුණු පැහැදිලි කර තිබෙන බවත් අඩු වියදම් බලාගාර සැලැස්ම ඉකුත් වසරේ මැයි මාසයේදී මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළේ එම අර්බුදයට පිළියමක් ලෙස බවත් විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩුගේ මහතා ප්‍රකාශ කළේය.
මීට සති දෙකකට ඉහතදී මෙය ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි අතර එය ඉටු නොවීම නිසා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කළ බවද ඒ මහතා පැවැසීය. විදුලි ඉංජිනේරුවන් අකුරට වැඩ කිරිම මගින් කාර්යාලයීය වේලාවන්ගෙන් පෙර හා පසුවත්, සියලුම රජයේ නිවාඩු දිනවලත් කිසිදු නඩත්තු කටයුත්තක් සිදු නොවන බව කී කුමාරවඩුගේ මහතා, විදුලි බලාගාරයක් අක්‍රිය වුවහොත් විදුලිය විසන්ධි විය හැකි බවද කීය.
එමෙන්ම විදුලි ඉල්ලුම දිනෙන් දින වැඩිවීම නිසා අඩු වියදම් විදුලි බලාගාරවල අවශ්‍යතාවද වැඩි බව සඳහන් කළ ඒ මහතා, එම හේතුව නිසා විදුලිය මිලදී ගැනීමට වැඩි වියදමක් දැරීමට සිදුවන බවද කීය. ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩුව වසරෙන් වසරට වැඩිවීමට හේතුවී ඇත්තේද මේ නිසා බව කුමාරවඩුගේ මහතා වැඩිදුරටත් පැවැසීය.

කමණී හෙට්ටිආරච්චි

https://www.lakbima.lk/index.php/%E0%B6%91%E0%B7%83%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/10511-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92-%E0%B6%89%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-20-%E0%B7%83%E0%B7%92%E0%B6%A7-%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B6%A7-%E0%B7%80%E0%B7%90%E0%B6%A9

Leave a Reply

Your email address will not be published. Required fields are marked *