විදුලිය මිළ අධික වෙයි… විදුලි ඉංජිනේරුවෝ වර්ජනයක් කැදවති..

lanka C news : ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මිළ අධික විදුලියට පාර කපමින් ලං.වි.ම. දිගු කාලීන ජනන සැලැස්මට බාධා පමුණුවමින් මහජන උපයෝගිතා කොමිසමේ නිළධාරින් කීපදෙනෙකු ගෙනයන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එළඹීමට ඉංජිනේරු සංගමය තීරණය කරන ලද්දේ සියළු සාකච්ඡා ප්‍රතිඵල රහිත වු පසුබිමකය. මේ අනුව අපගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අප්‍රේල් 20 දින ‘අකුරට වැඩ කිරීමකින්’ ආරම්භවීමට නියමිතව තිබුණි. නමුත් වෙසක් පොහොය සමයේ මේ මගින් ජනතාවට සිදුවිය හැකි අපහසුතාද, ගරු සංඝරත්නයේ කාරුණික ඉල්ලීම මෙන්ම ගරු ඇමතිතුමා සමඟ xx-04-2018. දින සිදුකරන ලද සාකච්ඡාවේදී, ඉල්ලීම් ඉටුකිරීම සඳහා තවත් යම් කාලයක් ලබා දෙන මෙන් කරන ලද ඉල්ලීමද සලකා බලා අපගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කල් දැමීමට තීරණය කරන ලදී.

ඉන්පසු අප්‍රේල් 25 දින ගරු ජනාධිපතිතුමා ලං.වි.ම., මහජන උපයෝගිතා කොමිසම, අප සංගමය ඇතුළු මේ ප්‍රශ්නයට අදාල සියළු පාර්ශව සමඟ දිර්ඝ සාකච්ඡාවක නිරත විය. මෙහිදී උපයෝගිතා කොමිසම අධ්‍යක්‍ෂ ජනරාල් ඇතුළු නිළධාරි කීපදෙනෙකු ව්‍යාපාරිකයින්ට අවශ්‍ය ආකාරයේ කූට දිගුකාලීන ජනන සැලැස්මක් ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්වුන අතර ලං.වි.ම. විසින් නීත්‍යානුකූලව සකසන ලද ජනන සැලැස්ම වහාම ක්‍රියාවට නංවන ලෙස උපදෙස් ලබාදෙන ලදී.

මෙහිදී ඉංජිනේරු සංගමය පෙන්වා දුන්නේ ජනන සැලැස්ම මේ අවස්ථාවේ අනුමත කළත් ව්‍යාපාරික හා ව්‍යාජ පරිසර හිතකාමී රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන කොමිසමේ දුෂිත නිළධාරින් ජනන සැලැස්ම ක්‍රියාත්මක වීම වැළැක්වීමට කුමන්ත්‍රණවල යෙදෙන නිසා ජනන සැලැස්ම අනුමත වු පමණින් අප සෑහීමට පත්නොවන බවයි. ඒ අනුව මහජන උපයෝගිතා කොමිසමේ ප්‍රධාන තනතුරුවලට ක්‍ෂේත්‍රයේ පළපුරුදු අවංක නිළධාරින් වහාම පත් කළ යුතු බව ජනාධිපතිවරයා, ගරු ඇමතිතුමන්ලා ඇතුළු සියළු දෙනාගේ ඒකමතික තීරණයවිය.

නමුත් ජනන සැලැස්ම අනුමත කිරීම සහ උපයෝගිතා කොමිසමට සුදුසු නිළධාරින් පත්කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බවට ප්‍රකාශ වුවත් මේ දක්වා ඒවා ඉටුකිරීමට රජය අපොහොසත් වී ඇත. මේ තත්වය යටතේ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වශයෙන් අවංක පළපුරුදු නිළධාරියෙකු පත්කරන තුරු මහජන උපයෝගිතා කොමිසම සමඟ සිදුකෙරෙන සියළු රාජකාරි කටයුතු වර්ජනය කිරීමටත්, දිගුකාලීන ජනන සැලැස්ම වහාම අනුමත නොවේ නම් මැයි මස 08 වැනි දින සිට දීප ව්‍යාප්ත අකුරට වැඩ ව්‍යාපාරයකින් අපගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමටත්, රජයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබේ නම් දැඩි වෘතිතීය සමිති ක්‍රියාමාර්ග වලට එළඹීමටත් මැයි 3 වන දින පැවැති ලං.වි.ම. ඉංජිනේරු සංගමයේ විශේෂ විධායක කමිටු රැස්වීමේදී ඒකමතිකව තීරණය කරන ලදී. මෙහිදී ජනතාවට සිදුවිය හැකි අපහසුතා පිළිබඳ අප කණගාටු වන අතර එහි සියළු වගකීම රජය විසින් දැරිය යුතුය. කෙසේ වෙතත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා කාලය තුළ රෝහල් හා ජාතික ආරක්‍ෂාවට වැදගත් වන ස්ථාන සඳහා නොකඩවා විදුලිය ලබා දීමට උපරිම උත්සාහය දරනු ඇත.

LINK

May 5, 2018 at 8:40 am | lanka C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *