“වත්මන් දේශපාලන අස්ථාවරත්වය සහ ආර්ථික අර්බුදය විදුලි බල ක්ෂේත්‍රයට බලපාන්නේ කෙසේද?”
වර්තමානයේ පවතින දේශපාලන අස්ථාවරත්වය සහ දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි ඉන්ධන හිඟය නිසා තාප බලාගාර වලට අවශ්‍ය ඉන්ධන නොමැති වී යාමේ අවධානමක් පවතිනවා. එසේ වුවහොත් පවතින විදුලි ඉල්ලුමට සරිලන පරිදි සැපයුම දැනට සපයන ප්‍රමාණයට වුවද සැපයීමට නොහැකි තත්වයක් තමයි පවතින්නේ. එහෙම වුනොත් දැනට විදුලි කප්පාදුව සිදුකරන පැය ගණනට වඩා වැඩි වේලාවක් විදුලිය විසන්ධි කිරීමට සිදුවනවා.
පසුගිය දින වල විදුලි ජනනය සඳහා ඉන්ධන භාවිතය ඉතා අඩු මට්ටමකයි පැවතියේ. ඊයේ දිනයේ (2022.05.12) විදුලි ජනනය සිදු වූ අයුරු පහළ රූපසටහනේ විදියටයි සිදුවූයේ. ඒ වගේම පහුගිය දින දෙක තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම නිසා සමස්ත විදුලි ඉල්ලුමද පැවතුනේ ඉතාමත් අඩු අගයකයි. සාමාන්‍යයෙන් 42GWh ආසන්නයේ පවතින දෛනික විදුලි අවශ්‍යතාවය , පහුගිය දින වල පැවතියේ 35, 37 GWh වැනි අගයකයි.

නමුත් නැවත සාමාන්‍ය පරිදි වැඩ කටයුතු ආරම්භ වූ විට සමස්ත විදුලි ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ යන නිසා ඊට සරිලන පරිදි සැපයුම ලබාදීමේ හැකියාවක් නැහැ. ඒ හේතුවෙන් විදුලි කප්පාදුව සිදුකරන කාලය දීර්ඝ කිරීමට සිදුවනවා. මේ මොහොතේ දරුණු ලෙස පීඩාවට පත්වී ඇති මහජනතාව, මෙයින් තවත් අපහසුතාවයට පත්වූවත්, ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය පරිදි ඉන්ධන ලබාගැනීමේ හැකියාවක් නොමැති නිසා මේ අවස්ථාවේ මෙය ක්‍රියාත්මක කිරීමට සිදුවෙනවා.
” ඉන්ධන මතම යැපෙන විදුලි පද්ධතියක් පවත්වාගෙන යාමත්, පුනර්ජනනීය බලශක්තීන් ගෙන් ක්‍රියාත්මක වන බලාගාර ජාතික පද්ධතියට වැඩියෙන් සම්බන්ධ කර නොගැනීමත්, මේ අර්බුදය නිර්මාණය වීමට හේතුවක් නොවේද?”
අපගේ විදුලි බල පද්ධතියේ අනාගතය කෙසේවිය යුතුද යන්න පිළිබඳව විෂේශඥ දැනුමැති පිරිසක් විසින් දීර්ඝ කාලයක් තිස්සේ, විස්තරාත්මකව අධ්‍යනය කර, සකසන දිගු කාලීන ජනන සැලසුමක් ලංකා විදුලි බල මණ්ඩලය සතුයි. එම සැලසුම වසර විස්සක් වැනි දීර්ඝ කාලයක් වෙනුවෙන් සකසන අතර, වසර දෙකකට සැරයක් යාවත්කාලීන කරනු ලබයි. මෙම සැලසුම සකස් කිරීමේදී තාක්ෂණික කරුණු වලට අමතරව, අඩු පිරිවැයකින් නිපදවීම යන කරුණු පිළිබදවත් විශේෂයෙන්ම සලකා බලනු ලබනවා. එම සැලසුම් පසුගිය අවුරුදු 8ක් වැනි කාලයක් තුල නිසියාකාරව ක්‍රියාත්මක වූවා නම්, අද මේ පවතින අර්බුදය මෙතරම් තීව්‍ර වෙන්නේ නැහැ. නමුත් එම අවධියේදී අපට මුහුණ පාන්නට සිදු වූ විවිධ සමාජ, දේශපාලන මෙන්ම ව්‍යාපාරික බලපෑම් නිසා විදුලි බල මණ්ඩලයේ දීර්ඝ කාලීන ජනන සැලසුම් නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. පුනර්ජනනීය බලශක්තීන් ගෙන් ක්‍රියාත්මක වන බලාගාර වලට වගේම, අනෙකුත් සැලසුම් කල බලාගාර වලටත් මෙය එකසේ බලපෑම් ඇති කලා. අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය පරිදි බලාගාර, නිසි කලට ඉදිනොකිරීම වර්තමානයේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදයටත් දැඩි සේ බලපෑම් ඇති කර තියෙනවා.
ඒ වගේම පුනර්ජනනීය බලශක්තීන් (අප රටේ නම්, ප්‍රධාන වශයෙන් සුළං සහ සූර්ය බලාගාර) විදුලි බල පද්ධතියට එක් කරගැනීමේ තාක්ෂණික සීමාවන් පවතිනවා. එය අපේ රටේ පමණක් නොවෙයි ඕනෑම රටක විදුලි බල පද්ධතියකට පොදුවේ බලපාන දෙයක්. පුනර්ජනනීය බලාගාර සහ පුනර්ජනනීය නොවන බලාගාර නිසි එකතුවක් සහිතවයි විදුලි බල පද්ධතියක් ක්‍රියාත්මක කල හැකි වන්නේ.
ඒ සීමාවන් සමඟ හැකි උපරිමයෙන් පුනර්ජනනීය බලශක්තීන් ගෙන් ක්‍රියාත්මක වන බලාගාර ජාතික පද්ධතියට එක් කර ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතිනවා. එම සීමාවන් යටතේ සැලසුම් වූ පුනර්ජනනීය බලාගාර සෑහෙන ප්‍රමාණයක් ඉදිකිරීමට නියමිතව ඇතත්, පෙර සදහන් කල අභියෝගයන් නිසයි එම කටයුතු තවමත් ක්‍රියාත්මක කරගන්නට නොහැකි වී ඇත්තේ.
” පුනර්ජනනීය බලශක්තීන් වැඩි වශයෙන් විදුලි පද්ධතියට එක් කර ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය, නොහැකි යැයි පැවසුවත් වෙනත් රටවල පුනර්ජනනීය බලශක්තීන් භාවිත කිරීම ප්‍රතිශතයක් ලෙස අපේ රටට වඩා වැඩියි නේද?”.
ප්‍රාථමික පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ (ජලය, සුළං බලය සහ සූර්ය බලය) ලබාගැනීම අප කිසිවෙකුගේවත් පාලනයෙන් තොරව පවතින දෙයක්. ඒ නිසා කිසිම විටෙක විදුලි බල පද්ධතියක් සම්පූර්ණයෙන්ම මෙවැනි බලාගාර වලින් පමණක් ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ සඳහා ඒකාකාරීව සැපයුම ලබාගැනීමට හැකි, බලාගාරයන්ද පද්ධතියක පැවතිය යුතු වෙනවා.
සමහර රටවල පවතින ප්‍රාථමික බලශක්ති ප්‍රභවයන්ගේ ස්වභාවය සහ ප්‍රමාණය අනුව වැඩි ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තීන් ගෙන් ක්‍රියාත්මක වන බලාගාර පැවතිය හැකියි. උදාහරණයක් ලෙස සමහර රටවල අසීමිත ලෙස භාවිත කල හැකි ජල විදුලි බලාගාර පවතී.
එමෙන්ම තවත් රටවල වැඩි වශයෙන් පුනර්ජනනීය බලශක්තීන් ගෙන් ක්‍රියාත්මක වන බලාගාර පවතින්නේ, ඒ රටවල විදුලි බල පද්ධතිය තවත් රටවල් සමඟ සම්බන්ධව ඇති නිසයි. (යුරෝපය)
ලංවිම පුනර්ජනනීය ශක්තියට අකැමති යයි කියවෙන ප්‍රචාරයන්ට එරෙහි හොඳම උදාහරණය විදුලිබල මණ්ඩලය සතු මෙගාවොට් 100 ක ධාරිතාවක් සහිත තම්බපවනී සුළං බලාගාරය. ලංකාවේ වැඩිම සුළං විභවයක් ඇති මන්නාරම් දුපතේ ඇති මෙම බලාගාරය මෙගාවොට් 375 ක් දක්වා ඉහළ නැංවීමට නියමිතයි.
එමෙන්ම මෙගාවොට් 200කට ආසන්න මහා පරිමාණයේ සුර්ය හා සුළං බලාගාර කීපයක් සඳහා පසුගිය වසර 3ක පමණ කාලයක් තිස්සේ ටෙන්ඩර් මිළ ගණන් පවා කැඳවා ඇති නමුත් එම ටෙන්ඩර් මේ වනතුරු ඇගයීමටවත් ලක් නොකර යම් පාර්ශවයක් විසින් කල්මරමින් තබාගෙන සිටින්නේ ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණු වලට එමගින් අවශ්‍ය සහයෝගය නොලැබෙන නිසයි.


සමහර රටවල් වැඩි වශයෙන් පුනර්ජනනීය බලශක්තීන් ගෙන් ක්‍රියාත්මක වන බලාගාර පවතින්නේ, ඒ රටවල විදුලි බල පද්ධතිය තවත් රටවල් සමඟ සම්බන්ධවයි පවතින්නේ. (Interconnected Systems) එවැනි පද්ධති වලට උවමනා ඒකාකාරී සැපයුමක් පවතින බලාගාරයන්, එම පද්ධතිය සම්බන්ධ වී ඇති අනෙක් රට තුළයි පවතින්නේ. නමුත් අපේ රටේ එවැනි වෙනත් රටවල් සමඟ සම්බන්ධ වූ පද්ධතියක් නැහැ. ඒ නිසා පුනර්ජනනීය බලශක්තීන් ගෙන් ක්‍රියාත්මක වන බලාගාර යම් සීමාවන් සහිතවයි සැලසුම් කල යුතු වන්නේ.
” එසේ පද්ධතියට සම්බන්ධ කර ගැනීමේ සීමාවන් ඇති නම්, නිවෙස් වල වහල මත ඉදිකරන සූර්ය බල පද්ධතීන් වලට වත් අනුමැතිය ලබා දෙන්නේ නම් ඒක මේ වෙලාවේ රටට පහසුවක් වෙනවනේ. තම, තමන් තමන්ගේ විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීම. නමුත් ඒ සදහාත් විදුලි බල මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමේ අපහසුතාවයන් ඇති බවනේ මහජනතාව නිතරම චෝදනා කරන්නේ.”
එසේ අනුමැතිය ඉල්ලන්නේ පද්ධතියට සම්බන්ධ වූ සූර්ය බල පද්ධතීන් (Grid connected solar system ) සඳහායි. මෙහිදී ඇතිවන එක අපහසුතාවයක් වන්නේ ජාතික විදුලිබල පද්ධතියේ යම් විදුලි කප්පාදුවක් හෝ බිඳ වැටුමක් සිදුවූ අවස්ථාවක අපගේ සුර්ය බල පද්ධතියට සම්බන්ධ ඉන්වර්ටරය (සරල ධාරාව ප්‍රත්‍යාවර්ථ ධාරාව බවට පරිවර්තනය කරන උපාංගය) ක්‍රියා විරහිත වීමයි. එවිට එම අවස්ථාවේ ජනනය කරන සුර්ය විදුලිබලය අපට පුද්ගලික පරිභෝජනයට හෝ ගත නොහැකියි. මේ සඳහන් කලේ පාරිභෝගිකයාගේ පැත්තෙන් සිදුවන අපහසුතාවයයි.
සූර්ය බල පද්ධතීන්, ජාතික විදුලි බල පද්ධතියට ඍජුවම සම්බන්ධ කිරීමේදී, එයින් ජනනය වන විදුලිය ඒ මොහොතේම කිසිම පාලනයකින් තොරව විදුලි පද්ධතියට එක් කරනවා. එම විදුලිය ඒ මොහොතේ ඊට සම්බන්ධ වෙනත් පාරිභෝගිකයින් විසින් පාවිච්චි කලේ නැත්නම්, පද්ධතියේ වෝල්ටීයතාව ඉහල ගොස් සූර්ය බල පද්ධතිය සවිකර ඇති නිවසට ආසන්නයේ ඇති වෙනත් නිවෙස් වල විදුලි උපකරණ වලට හානි සිදුවීමේ හැකියාවක් පවතිනවා. එලෙස හානි සිදුවූ අවස්ථා බොහොමයක් කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශ වල මේ වන විටත් වාර්තා වී තිබෙනවා. එවිට එම උපකරණ හානි සඳහා වන්දි ගෙවීම වැනි කාරණා සඳහා මණ්ඩලයට මැදිහත් වීමටද සිදු වෙනවා. ඒ වගේම සූර්ය බල පද්ධතියක් ඍජුවම ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමේදී ළඟම පිහිටි ට්‍රාන්ස්ෆෝමරයට ඇති දුර, එම ට්‍රාන්ස්ෆෝමරයට තවත් සුර්යබල පද්ධති කීයක් (උපරිමය 11ක්) මේ වන විටත් සම්බන්ධ කර ඇතිද යන්න වැනි තවත් කරුණු කීපයක් පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා. මේ සියල්ල සැලකිල්ලට ගෙනයි විදුලි බල මණ්ඩලය ජාතික පද්ධතියට සම්බන්ධ වන සූර්ය පද්ධතීන් සඳහා අනුමැතිය ලබා දෙන්නේ. මේ සඳහන් කලේ විදුලිබල මණ්ඩලය පැත්තෙන් දරන්නට සිදුවන අපහසුතාවය සහ ඒවා මැඩලීමට සිදු කල යුතු අමතර වියදම් පිළිබඳවයි.
මේ සීමාවන් බොහොමයක් සඳහා තාක්ෂණික වශයෙන් විසඳුම් තිබුණත්, ඒ සියල්ලක්ම වෙනුවෙන් ඉතාමත් අධික පිරිවැයක් දරන්නට සිදුවෙනවා. එය අපි වගේ රටකට මෙවැනි අර්බුදකාරී අවස්ථාවක කිසිසේත්ම කල හැකි දෙයක් නොවෙයි.
තමන්ගේ විදුලි අවශ්‍යතාවය තමන් ටම සපුරා ගත හැකි ජාතික පද්ධතියට සම්බන්ධ නොවන සූර්ය බල පද්ධතීන් (Off grid solar systems) හැකි සෑම අයෙකුම සවිකර ගන්නේ නම්, එය ඉතාමත් කාලෝචිත මෙන්ම වටිනා දෙයක් වනවා. ඒ සදහා මණ්ඩලයෙන් කිසිදු බාධාවක් නොමැති අතර, කිසිදු අනුමැතියක් ලබාගැනීම අවශ්‍ය වන්නේත් නැහැ.
” මේ අවස්ථාවේදී මහජනතාවට මේ වෙනුවෙන් යමක් කල හැකිද?”
ඔව්, ජනතාවට මේ අවස්ථාවේදී විදුලි බල ක්ෂේත්‍රයේ අර්බුදකාරී තත්වයට සහනයක් ලෙස කීප අයුරකින් දායක වෙන්න පුළුවන්.
පළමු වෙනි ක්‍රමය නම්, ජාතික පද්ධතියට සම්බන්ධ නොවන සූර්ය බල පද්ධතියක් වෙනුවෙන් ආයෝජනය කල හැකි පාරිභෝගිකයින්ට, තමන්ගේ විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීමට තමන්ගේ වහල මත එවැනි පද්ධතියක් (Off Grid Solar System) සවිකර ගත හැකියි. එය විදුලි බල මණ්ඩලයට මෙන්ම පාරිභෝගිකයින් වශයෙන් ඔවුන්ට වාසිදායක තත්වයක්. මන්ද, එවිට විදුලි කප්පාදුව සිදුකරන වේලාවන්හිදී ඔවුන්ගේ විදුලි අවශ්‍යතාවය ඒ හරහා සපුරා ගන්නට හැකි වෙනවා වගේම, ඔවුන්ගේ විදුලි බිලටද යම් සහනයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා.
අනෙකුත් පාරිභෝගිකයින්ටද තමන්ගේ විදුලි ඉල්ලුම හැකි තරම් අඩුකර ගැනීමෙන්, මේ සඳහා දායක විය හැකිය. රටේ පවතින සෑම අර්බුදයකින්ම පීඩා විඳින ජනතාවට විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නට පැවසීම අසාධාරණ වුවත්, තමන් හැකි සෑම අයුරකින්ම තමන්ගේ අනවශ්‍ය පරිභෝජනයන් අඩුකර ඉල්ලුම අඩු කරගත හොත්, එයින් ඔවුන්ගේ විදුලි බිල අඩුකර ගත හැකි අතර, විදුලිය කප්පාදු කරන ආකාරය අඩුකර ගැනීමටද එය උපකාරී වේවි.
ඉංජිනේරු. ලක්මාලි කරුණානායක (ප්‍රධාන ඉංජිනේරු – බලශක්ති කළමනාකරණ – වයඹ පළාත 1)
2022-05-16