හර්ෂණී අර්සකුලරත්න
විසි අවුරුද්දක් සඳහා වන විදුලිජනන සැලැස්ම අනුමත කිරීමට සහ මහජන උපයෝගිතා කොමිසමට සුදුසු නිලධාරීන් පත් කිරීමට මේ දක්වා රජය අපොහොසත් වීම හේතු කර ගනිමින් ලං.වි.ම. ඉන්ජිනේරු සංගමය අනිද්දා (08දා) සිට දීපව්‍යාප්තව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ලං.වි.ම. ඉන්ජිනේරු සංගමය පවසයි.
පසුගිය 25දා ජනාධිපතිවරයා, ලං.වි.ම. මහජන උපයෝගිතා කොමිසම සහ ලං.වි.ම. ඉන්ජිනේරු සංගමය පවතින ගැටලු පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් එම සංගමය පැවැසීය.
මෙහිදී උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් කිහිප දෙනකු ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ආකාරයට කූට දිගුකාලීන ජනන සැලැස්මක් ඉදිරිපත් කිරීම පිළිබඳ දැඩි දෝෂදර්ශනයට ලක්වූ බවද ලං.වි.ම. නීත්‍යනුකූලව සැකසූ ජනන සැලැස්ම ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවද එම සංගමය පවසයි.
මේ වන විට ව්‍යාපාරික හා ව්‍යාජ පරිසර හිතකාමී රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන මහජන උපයෝගිතා කොමිසමේ දූෂිත නිලධාරීන් ජනන සැලැස්ම ක්‍රියාත්මක වීම වැළැක්වීමට කුමන්ත්‍රණවල යෙදෙන නිසා එම ජනන සැලැස්ම අනුමත වූ පමණින් සිය සංගමය සෑහීමකට පත් නොවන බවද එම සංගමය පැවැසීය.
ඒ අනුව මහජන උපයෝගිතා කොමිසමේ ප්‍රධාන තනතුරුවලට ක්ෂේත්‍රයේ පළපුරුදු අවංක නිලධාරීන් වහාම පත් කළ යුතු බව සිය සංගමය ඒකමතිකව තීරණය කර ඇතැයිද එම සංගමය නිවේදනය කළේය.
මේ සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්නා බවට ප්‍රකාශ වුවද ඒවා ක්‍රියාත්මක නොවී ඇති නිසා මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් අවංක පළපුරුදු නිලධාරියකු පත් කරන තුරු ඔහු සමඟ සිදු කෙරෙන සියලු රාජකාරි කටයුතු වර්ජනය කිරීමටද සිය සංගමය ඒකමතිකව තීරණය කළ බවද එම සංගමය පැවැසීය.
මේ සම්බන්ධව රජයේ නිසි ප්‍රතිචාර නොලැබේ නම් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹීමට තීරණය කර ඇතැයිද ලං.වි.ම. ඉන්ජිනේරු සංගමය පැවැසුවේය.
විදුලි පාරිභෝගිකයන් පත්වන අපහසුතා පිළිබඳ වගකීම රජය දැරිය යුතු බවද එම අපහසුතා පිළිබඳ සිය සංගමය කනගාටුව පළ කරන බද ඔවුන් පවසයි.
Linkhttp://www.mawbima.lk/print20170621MB20171230.php?id=13059