පුනර්ජනනීය ඉලක්ක සහ විදුලි මාෆියාව

රටේ පවතින ඉතා අවදානම් කොවිඩ් තත්වයක් මධ්‍යයේ වුවද රජය විසින් විදුලි බල ක්ෂේත්‍රය පිලිබඳ ගනු ලැබූ සමහර තීන්දු තීරණ පිළිබඳවද යම් සමාජ කතිකාවක් ඇතිවී තිබේ. මේ අතරින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ” 2030 වන වනවිට විදුලි නිෂ්පාදනයෙන් 70% ක්ම පුනර්ජනනීය ක්‍රම මගින් සිදු කල යුතුය” යන ප්‍රතිපත්තිය පිළිබඳ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය වශයෙන් සමාජයේ වඩාත් කතාබහට ලක්වෙන සහ අපෙන් විමසනු ලබන පහත කරුණු පිළිබඳ අදහස් දැක්වීමට කැමැත්තෙමු. කිසියම් දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට ලැදිව කටයුතු කරන බවට අවම වශයෙන් මාධ්‍ය විවේචනයකට හෝ ලක්ව නැති වෘතීයවේදීන්ගෙන් සමන්විත අප සංගමය මේ අදහස් දැක්වීම සිදුකරන්නේ සමාජ මෙහෙවරක් වශයෙන් මිස කිසිදු දේශපාලනික හෝ වෙනත් පටු පරමාර්ථයකින් නොවන බව කරුණාවෙන් සලකන්න.

මොකද්ද ඔය කියන 2030 දි 70% පුනර්ජනනීය ඉලක්කය?

2030 වන වනවිට විදුලි නිෂ්පාදනයෙන් 70% ක්ම ජලය, හිරු එලිය සහ සුළං ආදී පුනර්ජනනීය ක්‍රම මගින් සිදු කල යුතුයි කියල සංකල්පයක් ව්‍යාපාරිකයින්, දේශපාලකයින් සහ රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන පිරිසක් ප්‍රභලව ඉදිරිපත් කරනවා. මේ ඉලක්කය කොහෙන් ආවද, ඒ ගැන කරපු අධ්‍යයනය මොකක්ද කියන එක අපිත් තාම සොයනවා. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ එවැනි (80% ක) ඉලක්කයක් තිබුණ බවක් පැවසුනත් එය නම් අසත්‍යයකි. එහි 59 වැනි පිටුවේ සඳහන් වන්නේ පුනර්ජනනීය විදුලිය හැකි උපරිමයෙන් පද්ධතියට එකතු කරගන්නා බවයි. සමහර විට 80%ක ඉලක්කයක් ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුල් කරන්න යම් ව්‍යාපාරික පිරිසකට අවශ්‍යව තිබුණා විය හැක. කෙසේ වෙතත් වෙන රටවල නම් හැකි උපරිමයත්, එයට යායුතු කාල වකවානුත් තීරණය කරන්නේ ක්ෂේත්‍රය පිලිබඳ සුදුසුකම් සහ අත්දැකීම තියෙන කණ්ඩායමක් විසින් කරනු ලබන මනා අධ්‍යනයකින් පසුව පමණි.

ඇයි ඉතින් ලං.වී.ම. ඉංජිනේරු සංගමය මේ දවස්වල මේ ගැන විශේෂ ජනතා අවදානයකට යොමු කරන්නෙ? මොකද්ද විශේෂිත තත්වය?

ඉතා මෑතකදී විදුලි නිෂ්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය ක්‍රම මගින් සිදු කල යුතුය සහ ලංකාවේ මින් ඉදිරියට ගල් අඟුරු බලාගාර ඉදි නොකරන බවට පරිසර සහ විදේශ කටයුතු අමාත්‍යංශවල මැදිහත් වීමෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් කැබිනට්ටුව විසින් සම්මත කර තිබෙනවා. මෙහි දී මේ පිළිබඳ ලං.වි.ම. යේ සියලු අදහස් දැක්වීම් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති අතර එම තීරණය මේ වනවිටත් අන්තර්ජාතික පරිසර සංවිධාන වලට ද පොරොන්දුවක් වශයෙන් ලබා දී ඇති බවද වාර්තා වෙනවා.

විදුලිබල ක්ෂේත්‍රය පිලිබඳ තීන්දු තීරණ අදාල ආයතනවලින් පරිබාහිරව වෙනත් අමාත්‍යාංශවල මැදිහත් වීමෙන් ගනු ලබන එකම රට ලංකාව විය යුතුයි. පිටරැටියන්ගෙන් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන සහ ව්‍යාපාරිකයින්ගේ මැදිහත් වීම් මගින් මේ ක්‍රියාදාමය සිදුවන අතර අමාත්‍යාංශ නිලධාරීන්ගේ අනවබෝධය සහ වගකීම පැහැර හැරීමත්, තත්වය පාලනයකින් තොර වෙන්න හේතු වෙලා තියෙනවා.

මේ 70% ප්‍රතිපත්තිමය තීරණය විදුලිබල පනතට අනුව හරියාකාර ව නිළ වශයෙන් ලං.වී.ම. වෙත දැනුම් දෙනු ලැබුව හොත් ඒ ඔස්සේ සියලු ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට ලං.වී.ම. නිලධාරීන් බැඳී සිටිනවා. නමුත් එම තීරණවලින් ඇතිවන ඵල විපාක වල සම්පුර්ණ වගකීම්ද එම තීරණගත් පුද්ගලයින් සහ කණ්ඩායම් විසින්ම භාරගත යුතුය. මේ මාධ්‍ය නිවේදනයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එය රටේ මහජනතාව වෙත දැනුම් දීමයි.

ඉතින් මේ කියන 70%ක ඉලක්කයයි දැනට ඔබ යෝජනායි අතර තියෙන ප්‍රධාන වෙනස මොකද්ද?

රටේ තියෙන සහ ඉදිවෙමින් පවතින ලක්ෂපාන, මහවැලි වගේ මෙ.වො. 1565 ක ප්‍රමාණයක ස්ථාවර විශාල ජල විදුලි බලාගාරත් වැටෙන්නේ පුනර්ජනනීය විදුලි ගණයට. දැනට මේ විශාල ජල විදුලි බලාගාර වලින් දල වශයෙන් අවුරුද්දකට 30% වගේ ප්‍රමාණයක් විදුලි ඒකක ප්‍රමාණයක් ලබාදෙනවා. මෙවැනි විශාල බලාගාර සියල්ලම පාහේ සාදා අවසන් නිසා පද්ධතියේ ඉල්ලුම වැඩි වන විට 2030 වසරේ දී මේ මෙ.වො. 1565 ප්‍රමාණයම සහ විදුලි එ්කක ප්‍රමාණය එසේම තිබ්බත්, එම ඒකක ප්‍රමාණය ප්‍රතිශතයක් විදියට 20% කට වගේ අඩුවෙනවා. (අවුරුදු 4 කට පමණ වරක් එන නියඟයක් සහිත වසරක මේ ප්‍රමාණය තවත් අඩුවන්න පුළුවන්). ඒ කියන්නේ මේ 2030 දී 70% ක් පුනර්ජනනීය විදුලිය ලබාගන්න නම් 50% ප්‍රමාණයක් පාලනය කල නොහැකි, නිතර වෙනස්වන සුර්ය සහ සුළං බලයට යන්න වෙනවා. (20% ස්ථාවර ජල විදුලිය + 50% අස්ථාවර විදුලිය = 70% පුනර්ජනනීය විදුලිය). මෙන්න මේ 50% ක අස්ථාවර විදුලියක ඉලක්කයකට අවුරුදු 8-9 ක් වැනි කෙටි කාලයක දී යාම තමයි මෙතන තියෙන ගැට‍ළුව. එතැනදී අපිට දැනට තියෙන සහ පසුගිය අවුරුදු 10 තුල ගොඩනැගුණ මෙ.වො. 460 වන සුර්ය විදුලිය අවුරුදු නමයක් ඇතුළත මෙ.වො. 4000 දක්වාත්, මෙ.වො. 248 පමණ වන සුළං විදුලිය මෙ.වො. 1500 දක්වා ද වැඩි කරන්න සිදු වෙනව.

ලෝකයේ බහුතරයක් රටවලට තියෙන්නේ වසර 2050 දී කාබන් ශුන්‍ය බලශක්තියකට යාමේ ඉලක්කයක්. නමුත් අතීතයේ ලෝක පරිසරය විනාශ කරපු සමහර ධනවත් රටවල් කිහිපයකට 2035-45 වගේ ඉලක්කත් තියෙනවා. මොකද ඔවුන්ට හරිතාගාර වායු අඩුකරන්න කියල ජාත්‍යන්තර වශයෙන් විශාල පීඩනයක් එල්ල වෙනවා. ඒත් මේක වියදම් අධික අසීරු කාර්යක් නිසා සිංගප්පුරුව වගේ රටවල තියාගෙන ඉන්නේ ‘2100 ට පෙර’ වගේ ඉලක්ක කියන එකත් අපි දැනගන්න ඕනි. ඉන්දියාව තාම ඒ ගැන කල්පනා කරනවා, ඉලක්කයක් කියලම නෑ. අපි ඉතා කුඩා රටක් උනත්, ලෝක පරිසරේට අපෙන් වෙන බලපෑම ඉතාම අල්පයක් උනත් බහුතරයක් රටවල් සමඟ 2050 දී මේ ගමනට ඉලක්කයක් තියාගන්න එක හොඳයි.

ඒ අනුව අපේ විදුලි සැලසුම් වල තියෙන්නේ 2050 දී 100% ක්‌ම පුනර්ජනනීය විදුලියට ක්‍රමානුකුලව යාමේ අභිලාෂයක්. ඒ ගමනෙදි 2030 වෙනකොට 50% කට ආසන්න පුනර්ජන්නිය ඉල්ලක්කයකට යන්න බලාපොරොත්තු වෙනවා. මේ 50% කට ආසන්න පුනර්ජනනීය ඉලක්කයට යාමට නම් 2030 වසර වන විට මෙ.වො. 2800ක් සූර්ය විදුලියත් මෙ.වො. 1100ක ප්‍රමාණයක සුළං බලාගාරත් හදා ගන්න අවශ්‍යයි.

මේක තාක්ෂණිකව කරන්න බැරි දෙයක්ද? එහෙම නැත්නම් අපේ ඉංජිනේරුවන්ගෙ ඒ ගැන දැනීමේ මදිකමක්ද ? මොකද නිකන්ම ලැබෙන හිරු එලියෙන් සුළං බලයෙන් මුළු රටේම විදුලිය නිෂ්පාදනය කරල ඉන්ධන වලට යන විදේශ විනිමයත් ඉතුරුකරන් පරිසරයත් රැකගැනීම ඉතා ඉකමනින්ම කරන එක හොඳයිනෙ. නෑ, බෑ නොකියා ඒ ගැන ක්‍රියා කිරීම ඔබේ රාජකාරිය නේද?

70% ක් නොවෙයි ලංකාව 100% ම පුනර්ජනනීය විදුලියෙන් උනත් දුවන්න මේ පද්ධතිය හදන්න අවශ්‍ය දැනීම අපිට තියෙනවා. 70% හෝ 100% ඉලක්කය හුදු තාක්ෂණික ප්‍රශ්නයක් නෙවෙයි, 2030 කියන අනවශ්‍ය කඩිමුඩි උප ඉලක්කය තමයි ප්‍රශ්නේ.

ඒ ඔරොත්තු නොදෙන කඩිමුඩිය නිසා ඇතිවෙන ප්‍රශ්න ගණනාවක් අතරින් සරල උදාහරණයක් දෙකක් පමණක් කියන්න පුළුවන්.

70% ඉලක්කයට යන්න 2030 වෙන කොට මෙ.වො. 4000ක සූර්ය බලය හදා ගන්න ඕනිනේ. වහල මත සූර්ය පැනල සවිකරලා විතරක් මේ කඩිමුඩි ඉලක්කයට යන්න බෑ. ඉක්මනින් යන්න උතුරු නැගෙනහිර වගේ ඈත පළාත්වල මුඩු ඉඩම්වල මෙ.වො.100-200 වගේ තනි විශාල සූර්ය බලාගාර ගොඩක් ඉතා වේගෙන් හදන්න වෙනවා. ඒ වගේම මේ ඈත තියෙන සුර්ය විදුලිය රටේ අනිත් ප්‍රදේශ වලට අරන් යන්න විශාල ප්‍රමාණයක කි.වෝල්ට්. 400 අධි-වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ග හදන්න වෙනවා. 70% කට ගියොත් දවල් කාලයේ පෙ.ව. 11.00 සිට ප.ව. 2.00 වගේ කාලය තුල ලැබෙන උපරිම සුර්ය විදුලිබල ප්‍රමාණය අපේ කුඩා පද්ධතියට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉතා වැඩියි. ඒ නිසා යම් ප්‍රමාණයක් රෑට භාවිතයට ගන්න බැටරි වල ගබඩාකරන්න වෙනවා. මේ සඳහා මෙ.වො. 1000-1500 වඩා ප්‍රමාණයක් බැටරි අවශ්‍ය කරනවා. ඒ වගේම මේ වගේ විශාල ප්‍රමාණයෙන් විචල්‍යවන විදුලිය ලබාගන්න නම් පද්ධතියේ ස්ථාවර බව රැකගන්න තවත් නොයෙකුත් උපකරණ සවි කරන්න වෙනවා. පද්ධති පාලනය ඉතා සංකීර්ණ වන නිසා පාලනය පහසුකිරීමට තොරතුරු තාක්ෂණික මෙවලම් සහ පද්ධති සඳහා ද වියදම් කරන්න වෙනවා . ඒ විතරක් නෙවෙයි සුළඟ සහ හිරු එළියේ වෙනස් වීමට අනුරූපව ධාරිතාව ඉක්මනින් වෙනස් කළ හැකි, ඉන්ධන වියදම අධික ගෑස් ටර්බයින් බලාගාරත් ඉදි කරන්න වෙනවා. ඒ කියන්නේ මේ මෙ.වො.4000 සූර්ය විදුලිය ලබාගන්න අවුරුදු කීපයක් ඇතුලත මේ සියළු දේ කරන්න ඩොලර් බිලියන 4 – 5 ක් (රුපියල් බිලියන 1,000 ක් පමණ) පිටරටට යවන්න වෙනව. ඒ වියදම දරන්න වෙන්නෙ රජයට. මෙ.වො. 4000 සුර්ය බලාගාර ලංකාවේ පුද්ගලික අංශයෙන් කලොත් මේ කෙටි කාලය ඇතුලත ඩොලර් බිලියන 2.5 – 3.0 ක වගේ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. විදේශ සංචිත නැතිව අත්‍යවශ්‍ය ආනයන පවා නතර කරලා තියෙන මේ මොහොතේ මේ වියදම රටට දරන්න පුළුවන්ද ?

ඒ වගේම කි. වෝල්ට්. 400 අධි වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ගයක් හදන්න කිලෝ මීටර ගණනාවක් දුරට අඩි 150ක විතර පළල, උස ගස් හෝ ඉදිකිරීම් නොමැති කොරිඩෝවක් අවශ්‍ය වෙනවා. අද ජනතාවට ඉන්න හිටින්න වත් ඉඩකඩම් මදිව ඉන්න මේ රටේ පරිසර අනුමැති සහ මහජනතාවගෙන් කැමැත්ත අරන් ප්‍රශ්න ඇතිවුණාම උසාවිත් ගිහින් කි.වෝල්ට්. 33 වෝල්ටීයතා කුඩා සම්ප්‍රේෂණ මාර්ගයක් හදන්නත් සැහෙන කාලයක් යනවා. ඉතින් කි. වෝල්ට්. 400 අධි-වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ග ජාලයක් අවුරුදු 5-9 ත් අතර හදා ගන්නවා කියන්නේ හීනයක් විතරයි. සල්ලි තියෙන ඇමරිකාවටත් අද ඕක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.

ඔය කියන විශාල සූර්ය බලාගාර සඳහාත් විශාල ඉඩම් ප්‍රමාණයක් ඕනිනේ. ඒ ඉඩම් සොයාගෙන මූලික අවශ්‍යතා සැපයීම පිලිබඳ වගකීම තියෙන්නේ සුර්යබල , සුළං සහ ජල විදුලි ව්‍යාපෘති පිළිබඳ රාජ්‍ය අමාතංශය යටතේ ඇති සුනිත්‍ය බලශක්ති අධිකාරියට. දැන් මේ අධිකාරියෙන් අවුරුදු ගණනාවක සිට සියඹලාන්ඩුව ප්‍රදේශයේ මෙ.වො. 100ක සූර්ය බලාගාරයක් ඉදිකිරිම සඳහා අක්කර 500ක ඉඩමක් ලබාගන්න හේන් ගොවියන් සමඟ ඔට්ටු වෙමින් ඉන්නවා. ලං.වී.ම. බලාගාරයට ටෙන්ඩර් කැඳවන්නේ මේ ඉඩම හරියට පවරා ගත්තාට පස්සේ. අධි-වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ග , මාර්ග පහසුකම් සැපයීමද රජයේ වියදමින් කල යුතු වෙනවා. මේ සියල්ල සඳහා ඔවුන් තවත් කෙතරම් කාලයක් ගනීද කියන එක තවම ගැටලුවක්. 2030 දී 70% ඉලක්කෙට යන්න නම් එක අවුරුද්දකට මේ වගේ බලාගාර 4ක් වත් හදා ගන්න අවශ්‍යයි.

පලවෙනි විශාල සූර්ය බලාගාරයට වත් අවුරුදු ගානක් තිස්සේ අක්කර 500ක ඉඩමක් සකස් කර ගන්න බැරි මේ ආයතන හා අමාත්‍යංශ එක්ක මේ වගේ ඉලක්කයකට යෑම කොයි තරම් ප්‍රායෝගික ද?

ඉතින් මෙතන තියෙන්නේ තාක්ෂණික ප්‍රශ්නයක් නෙවෙයි. රටේ ආර්ථික තත්වය , අවශ්‍ය විදේශ විනිමය ආදිය ගැන අල්ප මාත්‍ර දැනීමක් හෝ ඉදිකිරීම් ව්‍යාපෘතියක කිසිදු ප්‍රායෝගික අත්දැකීමක් නොමැති පුද්ගලයින් හා ව්‍යාපාරිකයින් කීප දෙනෙකුගේ ප්‍රායෝගික නොවන සිහින සැලැස්මක් ලං.වී.ම මත බලෙන් පැටවීම පිළිබඳ ප්‍රශ්නයක්.

එහෙනම් මේ සූර්ය සුළං බලය පද්දතියට එකතු කර ගැනීමට සුදුසු ඔබ යෝජනා කරන ක්‍රමය මොකද්ද ?

ලංකාවේ හොඳම සුළං බලය තිබෙන්නේ පුත්තලමේ සිට කන්කසන්තුරය දක්වා වෙරළ තිරයේ. ඒ වගේම ලංකාවේ කාන්තාර නැතිනිසා ලොකු සූර්ය බලාගාර හදන්න හේන් ගොවිතැනටවත් ගන්න බැරි මුඩු ඉඩම් තියෙන්නෙත් සීමිත ප්‍රමාණයක්. මහජන විරෝධ නොමැති ජලාශ කීපයක සුර්ය බලාගාර සවිකරන්න පුළුවන්, නමුත් වියදම 30% කින් වැඩියි. ඉතින් මේ තිබෙන සීමිත සම්පතේ උපරිම ප්‍රමාණය අපි ගන්න ඕන. ඒ වගේම සුර්ය සහ සුළං විදුලි තාක්ෂණය වේගෙන් දියුණු වෙනවා. එත් එක්කම අනාගතයේදී ඒවා අපේ රටට දරා ගත හැකි අඩුමිලකට එනවා. ඉතින් අපි යොදාගන්න ඕනේ දියුණුවන තාක්ෂණයේත් අඩුවෙන මිලෙත් උපරිම ඵල නෙලා ගන්න පුළුවන් ක්‍රමානුකුල සැලැස්මක්.

එහිදී මුලින් අපි දැනට තිබෙන විදුලි පද්ධතියේ විශාල වැඩි දියුණු කිරීම් අවශ්‍ය නොවන සූර්ය බල ප්‍රමාණය ඉතා ඉක්මනින් පද්ධතියට එකතු කරගන්න ඕනි. මොකද ඒ වැඩේට අපි විශාල ආයෝජනයක් කරන්න ඕනි නෑ නේ. හොඳම උදාහරණය තමයි දැනට මෙ.වො. 370 පමණ තියෙන වහල මත තියෙන සුර්ය පද්ධති තවත් දියුණු කිරීම. මේ වනවිට ඇතැම් නාගරික ප්‍රදේශවල පද්ධති (ට්‍රාන්ස්ෆොර්මර්) ධාරිතාව ඉක්මවා ගියත් නගරබද නොවන ප්‍රදේශවල තවත් බොහෝ ප්‍රමාණයක් එකතු කර ගන්න පුළුවන්. දැන් ඔය විදුලිබල මණ්ඩලය මගින් නගරයෙන් බැහැරව ඉඩකඩ තිබෙන ට්‍රාන්ස්ෆෝමර් වලට කි.වො. 75 ප්‍රමාණයේ කුඩා සූර්ය බලාගාර සඳහා ටෙන්ඩර් කැඳවා තියෙන්නේ ඊළඟ පියවර වශයෙන්. මහා පිනුම් පනින්න කලින් මෙ.වො. 10-30 වගේ සාමාන්‍ය ප්‍රමාණයේ ඒවා කරලා අත්දැකීම් ලබාගන්න ඕනි.

මේ කාලය තුල සමගාමී ලෙස විශාල ප්‍රමාණයේ සුර්ය බලාගාර සඳහා අවශ්‍ය සම්ප්‍රේෂණ මාර්ග වගේ යටිතල පහසුකම් ඉදිකරන්න පුළුවන්. මෙහිදීත් සූර්ය බලාගාරයක් සඳහාම කියල අධික වියදමක් දරල සම්ප්‍රේෂණ මාර්ග තැනීමත් අපේ වගේ රටකට ආර්ථිකමය වශයෙන් ඔරොත්තු දෙන්නේ නෑ . මොකද සුර්ය බලාගාරයක උපරිම ධාරිතාව ලැබෙන්නේ දවසට පැය තුන හතරකදී විතරයි. එ්ක හරියට විශාල මුදලක් වැය කරලා අධිවේගී මාර්ගයක් හදල දවසට පැය තුන හතරක් ඇරලා තිබ්බ වගේ වැඩක් නේ. ඉතින් වඩාත් සුදුසු වෙන්නේ පැය 24ම දුවන තාප බලාගාරයක් හෝ සුළං බලාගාරයක් එක්ක හවුලේ මේ සම්ප්‍රේෂණ මාර්ග භාවිතා කිරීම.

අති විශාල ප්‍රමාණයේ සුර්ය බලාගාර වලට යායුත්තේ අවසාන පියවර වශයෙන්. සූර්ය මෙ.වො. 4000 සහ සුළං මෙ.වො. 1500 සඳහා පමණක් ඩොලර් බිලියන 5.5ක විතර ආයෝජනයක් කරන්න වෙනවා. කලබලේ ඒ කියන්නේ අවුරුදු 8-9 කින් කරන්න ගියොත් මේ ව්‍යාපෘති සඳහා දේශීය ආයෝජකයන්ට ඇතුළු වෙන්න ශක්තියක් නෑ . නමුත් ක්‍රමානුකුල ගමනක් ගියොත් ඒ කාලය ඇතුලත දේශීය ව්‍යාපාරිකයොත් විශාල ප්‍රමාණයේ බලාගාරයකට ආයෝජනය කරන මට්ටමට දියුණු වෙලා තියෙයි. අපි කලබලේ මුලින්ම විශාල බලාගාර හදන්න ගියොත් ශක්තිමත් විදේශීය ආයෝජකයින්ට ඉතා වැඩි අවස්ථාවක් තියෙනවා මේ ව්‍යාපාර අයිති කර ගන්න. මේ අනවශ්‍ය කඩිමුඩිය නිසා අන්තිමේදී ලංකාවේ ජනතාව සතු ස්වාභවික හිරු එළියේ සහ සුළං වල වාසිය යන්නෙත් විදේශිකයින් අතට.

ඒත් ඔහොම අසීරු ඉලක්කයක් තියාගෙන මේ ගමන ගියොත් 2030 වෙත්දි 70% බැරිනම් ඔබ කියන 50% ක සීමාවට හරි ලඟා වෙලා තියෙයි නෙ. ඒ නිසා මේක විශාල ප්‍රශ්නයක් නෙවෙයිනෙ.

නෑ මෙතන තමයි විශාලම ප්‍රශ්නේ තියෙන්නේ. ලං.වී.ම ඉදිරි අවුරුදු 20 කට දිගු කාලීන අඩු වියදම් විදුලි ජනන සැලැස්ම හදනවා. ඒක සෑම අවුරුදු දෙකකට වරක් යාවත්කාලීන කරනවා. අපි අවසාන වතාවට මේ සැලැස්ම හැදුවේ 2018දී. ඊට පස්සේ තාම සැලැස්මක් හදාගන්න බැරිව ඉන්නවා මොකද මේ කෙටි කාලය ඇතුලත රජයේ ප්‍රතිපත්තිය 4 වතාවක් වෙනස් වෙලා තියෙන නිසා. දැන් මේ කියන “2030 දී 70% ක පුනර්ජනනීය විදුලිය” කියන ප්‍රතිපත්තිය ගැසට් කරලා නීත්‍යනුකුලව අපිට දැනුම් දුන්නොත්, ඒ අනුව අපිට දැනට සැලැස්මේ 2030 දක්වා තියෙන මෙ.වො. 950 ප්‍රමාණයක අඩු වියදම් තාප බලාගාර සැලැස්මෙන් ඉවත්කරන්න වෙනවා. එත් එක්කම ඒ බලාගාර සඳහා කරන ඉඩම් සොයාගැනීම්, නැවත පදිංචි කිරීම් , ශක්‍යතා අධ්‍යන , පරිසර අධ්‍යන වගේ වැනි මුලික කටයුතුද සම්පුර්ණයෙන් නවතා දමන්න වෙනවා. ඒවා අධික කාලයක් යන කටයුතු. ඉතින් 70% පුනර්ජනනීයට යන්න ගිහින් වැඩේ අමාරුවෙලා මගින් නැවතුනාට වැඩේ ගොඩ යන්නේ නෑ . ආයේ පායල ලයිට් කපන්න උනාම මේවා තේරුම් අරන් අපි එහෙනම් අර නවතපු බලාගාර ඉක්මනින් හදමු කිව්වට ඒක එහෙම අඩු කාලයකින් කරන්නත් බෑ. අඩු කාලයකින් කරන්න පුළුවන් එකම විසඳුම තමයි ලයිට් කැපිල්ල නැත්තනම් අධිමිල හදිසි විදුලිය. මේ වැඩේ දැන් කීපාරක් නම් උනාද. 2016 දී තිබූ රජය තීරණය කලා 2030දී 100% ක්‌ම පුනර්ජන්නියට යනවා කියල. ගැසට් ගැහුවේ නම් නෑ. එත් මෙ.වො. 500 සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් නැවැත්තුව. ප්‍රතිඵලේ ආවේ 2019 දී. ඔබට මතකයි ද 2019දී ලයිට් කැපුවා? පාස්කු ප්‍රහාරෙයි කොවිඩ් ප්‍රශ්නෙයි නිසා විදුලි ඉල්ලුම අඩු නොවෙන්න තාමත් හදිසි අධි වියදම් ඩීසල් විදුලියේ පිහිට තමයි.

හාල්, පරිප්පු කිසිදා රටින් ගේන්නේ නෑ වගේ ප්‍රතිපත්තියක් නම් අමාරුවේ වැටීගෙන එනකොට එක දවසින් තීරණය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම සතියෙන් හාල් නැව ආවම ප්‍රශ්නේ ඉවරයි. එත් මේ විදුලි ක්ෂේත්‍රයේ ප්‍රශ්නයක් ඇති කර ගත්තොත් ගොඩ එන්න සෑහෙන්න කාලයක් යනවා. ආර්ථිකයට වාර්ෂිකව වෙන පාඩුව රුපියල් බිලියන 200-300 වගේ සීමාවක තියෙන්නේ.

එහෙනම් මේ මුළු ලෝකෙම සුළං සහ සූර්ය විදුලියට යනව කියන්නෙ ?

ඔව් යනවා තමයි. ඒත් තම තමාට ඔරොත්තු දෙන වේගෙන් තමයි යන්නේ. මේ අතරින් කඩිමුඩියේම යන්න හදන්නේ වසර සියගනනක් ලෝක පරිසරය විනාශ කරපු යුරෝපයේ ධනවත් රටවල් . ඒත් ඒ නිසාම ඒ රටවල පාරිභෝගික විදුලි මිල දෙතුන් ගුණයකින් ඉහළ ගිහින්.

” සුළං සූරය වගේ ප්‍රභව වලින් විදුලිය 40-50% වගේ අධික ප්‍රමාණයක් ලබාගන්න ජර්මනිය, ඩෙන්මාර්කය, දකුණු ඕස්ට්‍රේලියව වගේ රට වල/ ප්‍රාන්තවල තමයි අද ලෝකයේ ඉහලම පාරිභෝගික විදුලි මිල තියෙන්නෙ”

මොකද හිරු එලිය ,සුළඟ නොමිලේ ලැබුනත් ඒවා ගන්න පද්ධතියේ වැඩි දියුණුවට අර මුලින් කිව්වා වියදම් කරන්නම වෙන නිසා අවසාන වියදම වැඩියි. අනික යුරෝපයේ රටවල් සුළං සහ සූර්ය විදුලියට යන්නේ ලෝක පරිසරය සුරකින්නමත් නෙවෙයි. ඔවුන්ට ඕන රුසියාවේ ස්වාභාවික වායු මත යැපීමෙන් මිදෙන්න.

එමනිසා තමයි දියුණු වෙමින් පැවතුනත් අපිට වඩා යහපත් ආර්ථික තත්වයන් තියන ඉංදියාව, බංගලිදේශය, පකිස්ථානය වගේ රටවල් 2040 දි 30%-40% වගේ ප්‍රායෝගික පුනර්ජනනීය ඉලක්ක ප්‍රකාශයට පත්කරල තියෙන්නෙ.

දැන් ඔය සමහරු කියන විදියට අධික වේගයෙන් සුර්ය විදුලියට ගිහිල්ල ඉන්ධන වලට යන වියදම ඉතුරු කරගන්න කඩිමුඩියක් මේ රටවලට නැත්තේ මොකද කියල ගැඹුරින් සිතා බලන්න වටිනවා නේද?

අපි වගේ දියුණු වෙමින් පවතින ඒ වගේම වෙනත් රටකට සම්ප්‍රේෂණ මාර්ග වලින් සම්බන්ධ නැති හුදකලා පද්ධතියක් සහිත කිසිදු රටක් 2030 දී 70% ක් වගේ කඩිමුඩි ඉලක්ක නම් තියාගෙන නෑ. ඔබටත් පුළුවන් මේක අන්තර්ජාලයෙන් සොයා බලන්න.

ඒ උනාට විදුලිබල මණ්ඩලේ ඉංජිනේරුවො ඩීසල්, ගල් අඟුරු විදුලියෙන් කොමිස් ගහන්න ඕනි නිසා පුනර්ජනනීය විදුලියට අකුල් හෙලනව කියල චෝදනාවක් තියනවනෙ?

අපේ දිගුකාලින ජනන සැලැස්ම හරියට ක්‍රියාත්මක වෙනවානම් ඩීසල් විදුලියක් තියෙන්න බෑ. ව්‍යාපාරිකයින්, දවල් හීන දකින්නනන්, දේශපාලකයින් සහ NGO අනුග්‍රහයෙන් අඩු වියදම් බලාගාර කලට වෙලාවට ඉදිකිරීම කඩාකප්පල් කරාම තමයි හදිසි හෝ ඩීසල් විදුලියට යන්න වෙන්නේ. වැඩේ කියන්නේ ඔවුන්ගේ ක්‍රියා තුලින්ම වැඩිමිල ඩීසල් විදුලිය ආවම, ඩීසල් විදුලියෙ මිල පෙන්නලා ඒ අය විකුණන විදුලියටත් ඒවගේ මුදලක් ඉල්ලනවා.

පුනර්ජනනීය විදුලි ක්ෂේත්‍රයට ආයෝජකයින් ගෙන්න ගන්න මුල වකවානුවේ දී ටෙන්ඩර් කැඳවන්නේ නැතිව වැඩි මිලක් ගෙවනවා. ඒක සෑම රටකම පහේ කරන දෙයක්. ආයෝජකයින් යම් මට්ටමකට අවට පස්සේ තරගකාරී ටෙන්ඩර් වලට යන්නේ එයින් ලැබෙන වාසිය මහජනතාවට ලබා දෙන්න ඕන නිසයි. මුලින් සුළං, සූර්ය විදුලි ඒකකයකට රු. 22 වගේ ලොකු මිලක් ගෙව්වා. එත් දැන් ටෙන්ඩර් මගින් සූර්‍ය බලයෙන් ඒකකයක් රු 12 -15 සහ සුලං බලයෙන් ඒකකයක් රු. 9 -10 ට වගේ ගණන් වලට අඩුවෙලා. මේ ටෙන්ඩර් දැමිල්ල තමයි ඔය අකුල් හෙළනවා කියන්නේ. අපි මේ හැමෝටම වැඩිය පුනර්ජනනීය විදුලියට කැමති නිසානේ මන්නාරමේ මෙ.වො. 100ක විශාලතම සුළං බලාගාරය හැදුවේ. ඒ බලාගාරයෙ ඒකකයට වැය වෙන්නේ රුපියල් 8 යි.

දැන් මේ 2030 වගේ දරන්න බැරි ඉලක්ක වලට විදුලි බල මණ්ඩලය කොටුකිරීමේ ප්‍රධාන යටි අරමුණ තමයි ඉක්මනින් මේ ඉලක්ක වලට යන්න, ආයෝජකය දිරිගන්වන්න කියල ටෙන්ඩර් නැතිව ලොකු මුදලක් ගෙවන්න කියන එක. දැනටමත් ඊට අවශ්‍ය නීති රීති රහසේ සැකසෙමින් පවතිනවා.

අඩු වියදම් බලාගාර ඉදිකිරීම හරිම අමාරු වෙහෙසකර කාරියක්. ඉතින් එහෙම කොමිස් ගහල අයථා ලෙස හම්බ කරන්න ඕනි නම් මොකටද මේ දුක් මහන්සි වෙලා අඩු වියදම් බලාගාර හදන්න ඔට්ටු වෙන්නෙ, අපටත් පුළුවන්නේ ඔය සමහරු කරනවා වගේ පරිසර හිතකාමී ලෙස පුනර්ජනනීය විදුලියෙන්, ගසා කන්න. සල්ලි තාප විදුලියෙන් ආවද සූර්ය විදුලියෙන් ආවද කියල වෙනසක් නෑ නේ. පොඩි දෙයයි කරන්න තියෙන්න. ටෙන්ඩර නැතිව සමහර දේශපාලකයින් කියන ගණනකට ඒ අයගේ හිත මිතුරන්ගෙන් සූර්ය විදුලිය ගන්න එකයි. ඉංජිනේරුවන්ට විදුලි මාෆියාව කියල කරන චෝදනාව ආයේ අහන්නවත් නැති වෙයි.

එතකොට මොකක්ද මේ මාෆියාව ?

අව්වෙන් සුළඟෙන් විදුලිය හදනවා කියන වැඩේට අපි හැමෝම හරිම ආසයි නේ. එක කරන්න ඕනි දෙයක් තමයි. ඒත් අවාසනාවකට මේ රටේ පුනර්ජනනීය විදුලිය කියන එක සමහරුන්ට ජනතාව රවට ගන්න හරීම ආකර්ශනීය මාතෘකාවක් විතරයි. මේක යට තියෙන ජුගුප්සාජනක ක්‍රියාවලිය බොහෝ දෙනෙක් දන්නේ නෑ. එක එළි කරන්න හදන හැමෝටම සෑහෙන ප්‍රහාරයක් වදිනවා.

දැන් තියෙන දේශපාලන ක්‍රමේ අනුව ඡන්දයකින් දිනන්න ප්‍රචාරක කටයුතුවලට එක් පුද්ගලයෙකුට මිලියන සිය ගණනක් ඕනි වෙනවා. ඉතින් මේ පුනර්ජනනීය විදුලියේ ඉන්න සමහර ව්‍යාපාරිකයින් ආයෝජනයක් හැටියට මේ දේශපාලන පක්ෂ , පුද්ගලයින්ට මේ සඳහා මුදල් ලබා දෙනවා. පක්ෂ භේදයකින් තොරව සමහර දේශපාලකයින් මේ පුනර්ජනනීය විදුලිය ව්‍යාපාරයේ කෙලින්මත් යෙදී සිටිනවා. ඉතින් මේ අයගේ සැබෑ අරමුණ පරිසරය සුරකින්නවත් පුනර්ජනනීය විදුලිය නගාසිටුවිමවත් නෙවෙයි විදුලි බල මණ්ඩලය හරහා භාණ්ඩාගාරේ තියෙන ජනතා මුදල් කොල්ලකෑමයි. සෑම ආණ්ඩුවක් ම පත් වුන අලුත ඒ ක්ෂේත්‍රවල ඉන්න විද්වතුන්ට කන් දෙනවා, එත් ටිකක් පරණ වෙද්දී විද්වත් යෝජනා විසි කරලා තමා සමඟ ඉන්න ව්‍යාපාරිකයින්ගේ යෝජනා ක්‍රියාත්මක කරනවා. නැත්නම් කොහෙන්ද ඊළඟ ඡන්දයට මුදල් හොයා ගන්නේ. මේ කරුණ මුලින් ම වටහා ගත්ත නිසා වෙන්න ඇති වර්තමාන විදුලිබල ඇමතිතුමා වැඩ පටන් ගත්ත පලවෙනි සතියෙම ‘විදුලි මාෆියාව තියෙන්නෙ දියවන්නාවේ’ කියල ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කලේ.
අවසාන වශයෙන් අපිට අහන්න තියෙන්නේ ඔබට නිකමට හිතෙන්නේ නැද්ද මේ

“2030 දී 70% ක් පුනර්ජනනීය විදුලිය” වැනි ආකර්ශනීය පාඨ හරහා විදුලියෙන් පමණක් ජර්මනිය පරාද කරන්න හදන අපි අනෙකුත් අංශවලිනුත් ජර්මනිය පරාද කරන්න “

” 2030 දී බර්ලිනය හා සමාන භූගත විදුලි දුම්රිය පද්ධතියක් කොළඹට” ,

” 2030 දී සෑම පුද්ගලයෙකුට ම දුම්රියේ බස් රියේ ආසනයක්”,

” 2030න් පසු කිසිදු ගෘහ සේවිකාවක් මැද පෙර දිග නොයවමු”,

” 2030 දී හදවත් රෝගී සැත්කම් පොරොත්තු ලේඛනය දවස් 3 කට අඩු කරමු”

වගේ අපි හැමෝටම වැදගත් ඉලක්ක වලට යන්නේ නැත්තේ ඇයි කියල?

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය

loading comments...