ගුරු වැටුප් සටන සහ ලං.වි.ම. අඩු වියදම් දිගුකාලීන ජනන සැලසුම

ගුරුවරුන්ගේ වීදි සටන පිලිබඳ නොයෙකුත් මතිමතාන්තර සමාජ මාධ්‍ය වල පලවෙනවා. සමහරු ඒ ගැන අදහස් පළකරන්නේ තම තමන්ගේ දේශපාලන කෝණවලින්. කොහොම උනත් දේශපාලන කන්නාඩිය අමතක කරලා ගත්තම හැමෝම පිළිගන්න එක දෙයක් තියෙනව ඒ ගුරුවරුන්ගේ වැටුප අනිවාර්යෙන් වැඩිකළ යුතුයි කියල.එත් මේ රජයත් කලින් තිබුණ රජයනුත් මේකට දෙන උත්තරේ තමා …ඔව් වැඩි කරන්න ඕනි තමයි එත් භාණ්ඩාගාරේ සල්ලි නෑනේ කියල..

මේ පුවත් වාර්තාව අනුව මේ සඳහා රුපියල් කොටි 6800ක් ඕනලු. ඒ කියන්නේ මිලියන 68000ක්. නමුත් භාණ්ඩාගාරෙ සල්ලි නෑලු. ඉතින් මොකද කරන්නේ??

මේකට උත්තර ඇහුවොත් විවිධ ක්‍ෂේත්‍ර වල වෘතිකයින් විවිධ යෝජනා ඉදිරිපත් කරයි. (විදුලි) ඉංජිනේරු වෘතිකයෙක් හැටියට මා මේක දකින්නේ මෙහෙමයි.

රටේ සාමාන්‍යයෙන් අවුරුද්දකට විදුලි එකක බිලියන 17 (මිලියන 17,000) නිපදවෙනවා. ලංකා විදුලිබල මණ්ඩලේට මේ විදුලි ඒකකයක් හදන්න සමස්තයක් වශයෙන් රු 22 ක් විතර යනවා (ජල විදුලිය රු 2, ගල් අඟුරු රු 12, දැවිතෙල් රු 23, ඩිසල් රු 30 ක මිශ්‍රණයක්). මේක විකුණන්නේ සමස්තයක් හැටියට රු 16.50 කට වගේ ( එකක 60ට අඩු අයට මිට ගොඩක් අඩුයි) . ඉතින් ඒකකයකින් වෙන පාඩුව රු 5.50 ක් විතරනේ. එතකොට සමස්ත පාඩුව අවුරුද්දකට රු. රුපියල් මිලියන 93,500 ( රු 5.50 x 17,000). මේ අති විශාල මුදල විදුලිබල මණ්ඩලයට දෙන්නේ ඔය ගුරුවරුන්ට දෙන්න රුපියල් මිලියන 68000ක් නෑ කියන මහා භාණ්ඩාගාරෙන්මයි . ඉතින් මේ පාඩුව නැති කරගත්තොත් ඒක අධ්‍යාපනයට යොමුකරන්න පුළුවන් නේ.

ඉතින් මොකද වෙලා තියෙන්නේ? වෘතිකයින් යෝජනාකරන අඩු වියදම් තාප බලාගාර සහ නිසි උපරිම ප්‍රමාණයට සුර්ය සහ සුළං බලාගාර ඇතුලත් සැලැස්ම ක්‍රියාත්මක කලොත් ආණ්ඩුවට අර ඒකකයකට යන රු 22/= මිල, රු 16 ට අඩු කරලා ලේසියෙන් මේ මිලියන 93,500 ම ඉතුරු කරන්න පුළුවන්. එකෙන් ගුරුවරුන්ට නිසි වැටුපත් දීල ඉතුරු මුදල සම්පුර්නයෙන්ම අධ්‍යාපනයට යොදවන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පාඩු ලබන විදුලිබල මණ්ඩලය වගේම අපි ඉන්ධන බිල් නොගෙවීම නිසා පාඩු ලබන තෙල් සංස්ථාවත් ගොඩගන්න පුළුවන්. එක ගලෙන් කුරුල්ලෝ තුන් හතර දෙනෙක්ම. පුදුමයි නේද?

ඉතින් දැන් ඔබට සිතෙනවා ඇති මේක මේ යකා කියන විදියේ ඔච්චර ලේසි දෙයක් නම් කිසිම ආණ්ඩුවක් මේක නොකරන්නේ ඇයි කියල. ඇයි නොවෙන්නේ කියල කෙටියෙන් කිව්වොත් එක මෙහෙමයි වෙන්නේ.

හැම ආණ්ඩුවක්ම අපු අලුත ඒ ඒ ක්‍ෂේත්‍ර වල ඉන්න විද්වතුන්ගේ අදහස් අරගෙන හොඳ සැලසුම් හදනවා. එත් මගක් යද්දී ඒ දේශපාලකයින්ට වියදම් කරපු ව්‍යාපාරිකයින් , බටහිර රටවල ඩොලර් මත යැපෙන පරිසරවේදීන් වේශයෙන් පෙනීසිටින NGO කාරයෝ බලපැම් කරලා , හොඳ සැලසුම් යටපත් කරලා , ව්‍යාපාරික/ NGO සැලසුම් වලට මුල් තැන දෙනවා. මොකද ඊළඟ චන්දෙට පෝස්ටර් ගහන්න , TV add දාන්න වියතුන් හෝ ගුරුවරුන් සල්ලි දෙන්නේ නෑ නේ. ඉතින් මේ ජරාජීර්ණ දේශපාලන ක්‍රමේ තවත් එක ප්‍රතිපලයක් හැටියට අපේ සැලසුම් දිගින් දිගටම යට යනවා . ආර්ථිකේ එන්න එන්නම පහලට යනවා.

දැන් මේ විදුලි ක්ෂේත්‍රයේ ඔය කියන සැලසුම් ප්‍රශ්නෙ මොකක්ද. 2030 දී 70% – 80% ක් පුනර්ජනනීය විදුලියෙන් යැපෙන්න ඕනි කියල ව්‍යාපාරිකයින් සහ පිස්සෝ කීප දෙනෙක් කඩිමුඩි සැලැස්මක් හදල (හරියට එක කන්නෙන් කාබනික වගාවට හැරුන වගේ). පුනර්ජනනීය විදුලියෙන් විතරක් අවුරුද්දෙන් දෙකෙන් කරන්න පුළුවන් නම් අපිත් හරිම සතුටුයි එක කරන්න.එත් සුළං , සුර්ය බලය නොමිලේ ලැබුනට විදුලි පද්ධතියට ඒවා ගොඩක් ගන්න නම් අධි- වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ග , බැටරි , තොරතුරු තාක්ෂනය වගේ දේවල් වලට බිලියන ට්‍රිලියන ගානක් යොදවන්න ඕනි. ඒ නිසා සුළං , සුර්ය වගේ වෙනස් වෙන පුනර්ජනනීය බලය ඇති විශාල ප්‍රතිශතයකින් අරන් තියෙන්නේ ජර්මනිය, ඩෙන්මාර්කය , දකුණු ඔස්ට්‍රේලියාව වගේ ධනවත් රටවල්. හැබැයි ඒ රටවල තමයි ලෝකේ වැඩිම විදුලි මිල තියෙන්නේ ( ඒකකයක් රු 60-70ක් පමණ).

ඒ නිසාම තමයි අල්ලපු ඉන්දියාව , පාකිස්තානේ, බංගලිදේශය වගේ අපිට වඩා ආර්ථික හැකියාවක් තියෙන රටවල් පවා සූර්ය සහ සුළං බලයෙන් විශාල ,අනවශ්‍ය කඩිමුඩි ඉලක්ක තියාගෙන නැත්තේ. . ඒ රටවල තියෙන්නේ 2040 දී පුනර්ජනනීය විදුලිය 30% -40% වගේ ඉතාම ප්‍රයෝගික ඉලක්ක. අපේත් තියෙනවා 2050දී 100% කම පුනර්ජනනීය විදුලියට යන්න ඉලක්කයක්. එක ප්‍රායෝගිකයි.. කඩිමුඩියක් නෑ . මොකද අපේ රටේ සෞඛ්‍යය, අධ්‍යාපනය , පානීය ජලය වගේ ඉතාම මුලික අවශ්‍යතා තියෙනවා. ප්‍රමුඛස්ථානය දිවයුතු අංශ ගොඩක් තියෙනවා.මේ 2030 දී (ඒ කියන්නේ කඩිමුඩියේම) 70% – 80% ක් පුනර්ජනනීය විදුලියෙන් යැපෙන්න ඕනි කියල ව්‍යාපාරිකයින් සහ පිස්සෝ කීප දෙනෙක් හදපු සැලැස්ම ලඟදි කැබිනට්ටුවේ අනුමත කරලලු. (මේක සැලැස්ම විදුලි ක්‍ෂේත්‍රයේ ධම්මික පැනිය කියන්න පුළුවන්. එකේදී නම් අඩුම අපි ධම්මික බාස් උන්නැහේ දැක්කනේ. වැඩේ කියන්නේ මේකේ ධම්මික හොයා ගන්නත් නෑ ) 2016 දී තිබ්බේ 2030 දී 100% ක් කියල අන්තිමේදී ඒ කාලේදී අපිට කිසිම බලාගාරයක් හදාගන්න බැරිඋනා.

මේ කෑදරයින්ට ඕනි පරිසරය සුරකිනවා කියන මුවාවෙන් නායකයින් රවටල මේ අවුරුදු කීපේ උපරිම ලාභ ලැබීම . 2030 දී 70% ක් කියන්නේ දැන් ජර්මනියේ තියෙන මට්ටමටත් වඩා ගොඩක් එහා ගිය ඉලක්කයක්. දැන් දවස් කීපෙකට පෙර මේ පිස්සු- ව්‍යාපාරික සැලැස්ම ක්‍රියාත්මක කරන්න කැබිනට්ටුව තීරණය කරලලු. එහෙම උනොත් දැන් තියෙන අර මුලින් කිව්ව රු 22/= සමස්ථ විදුලි ජනන වියදම 2030 වෙත්දී ජර්මනියේ ගාන ඒ කියන්නේ රු 60-70 ක් වෙයි. විදුලි මිල ඉහල දැම්මොත් මුළු ජනතාවම පාරට බහින නිසා.. දෙගුණ තෙගුන උන පාඩුව භාණ්ඩාගාරෙන් පොම්ප කරයි. භාණ්ඩාගාරේ හිඳුනම අනේ සල්ලි නැනේ කියල මහජනතාවට කියයි. එදාට ඉන්න ආණ්ඩුවත් මේ වගේම කියයි අනේ ගුරුවරුන්ට පඩි වැඩි වෙන්න ඕනි තමා ..එත් තියෙන පඩිය ගෙවන්නත් සල්ලි නැනේ කියල.අපි කවදද මේ විෂම චක්කරෙන් ගැලවෙන්නේ. කොහොමද ගැලවෙන්නේ…?

ඉංජිනේරු අතුල වන්නිආරච්චි (ව්‍යාපෘති අධ්‍යක්ෂක – ලං.වි.ම)

loading comments...